Tuesday, April 18, 2023

           සක්කාරම්හි ජයවතිම තමයි දෙවෙනි ඉනිමෙ ආක්ෂා වුණෙත්

 

කලා අඹරේ පායා නිවී යන තරු අතර සැමදා  දිදුලන තරුවක් වන්නටත් වාසනාව තිබිය යුතුය. ආකර්ෂණය,  දක්ෂතාව අතරට හුරුබුහුටිකමත් එක්වූ කල ප්‍රේක්ෂක ආදරය නිතැතින්ම හිමිවේ.  ඇයත් එවන් වාසනාවන්තියකි. දෙවෙනි ඉනිමේ අනුහස්ගේ ආදරයේ හිමිකාරිය ආක්ෂා  වෙමින් ප්‍රේක්ෂක හදවත සියුම්ව ස්පර්ශ කළ ඇය තවත් විටෙක රාවණාහි සුපර්ණිකා කුමරිය වූවාය. නිදාවැටුණු  සිනමා ප්‍රේක්ෂකාගාරය අවදි කරමින් ආදරණීය ප්‍රාර්ථනාහි පාරමී වෙමින් සිය කුලුඳුල් සිනමා අත්දැකීම ලද ඇය මේ දිනවල තවත් අලුත් කටයුත්තකට සැරසී සිටින්නීය. නෙත්මි රොෂෙල් නම් වූ ඇය සමඟයි අද කතාබහ.

නෙත්මි මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි කියලා ආරංචියි. මොනවද මේ දවස්වල වෙන්නේ?

දෙවෙනි ඉනිම රූගත කිරීම නිමා කළා. අවුරුදු ගණනාවක් තිස්සේ අපිත් එක්ක රැඳී සිටි ආදරණීය ප්‍රෙක්ෂකයන්ට සතුටුදායක නිමාවක් දකින්න ලැබේවි කියලා හිතනවා. ඊට අමතරව ෂර්මිලා ධර්මරාසා මහත්මියගේ ආදර වසන්තය කියලා අලුත් අවුරුදු ටෙලි චිත්‍රපටයක් කළා. අඛිල ධනුද්දර, ලවන් අභිෂේක් එක්ක කළ හරිම ලස්සන කතාවක්. ගිය අවුරුද්දට කළ ටෙලි චිත්‍රපටය ගොඩක් ජනප්‍රිය වුණා. යුටියුබ් එකේ මාසයක් විතර ට්‍රෙන්ඩිං වුණා. මූවි එකක් එහෙම ට්‍රෙන්ඩිං වුණු මුල්ම අවස්ථාව වෙන්න ඇති. දෙරණෙම තවත් අලුත් ටෙලි නිර්මාණයකට දායක වුණා. ඒකත් වෙනස්ම වැඩක්. අප්‍රේල් මුල වගේ මගේ අලුත්ම ෆිල්ම් එකේ වැඩ පටන් ගන්නවා. ඒ වගේම අප්‍රේල් 01 ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්වල ප්‍රසංගයක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා සිහින රැයක් නමින්. ඒකෙ රිහසල් කරන ගමන් අනිත් වැඩත් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ.

ආදරණීය ප්‍රාර්ථනා කියන්නේ ගොඩ කාලෙකින් සිනමා ප්‍රේක්ෂකාගාරය අවදි කළ චිත්‍රපටයක්. කොහොමද ලැබුණු ප්‍රතිචාර?

ඒක නම් කියන්නම ඕන. ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලැබුණා. වාසල බදුගේගේ අධ්‍යක්ෂණයක්. ප්‍රේක්ෂකයන්ට පාරමී කොතරම් හිතට අල්ලලාද කියනවා නම් පාරමීට මොකද වුණේ කියලා දැනගන්න ප්‍රේක්ෂකයො නොඉවසිල්ලෙන් ඉන්නේ. ආදරණීය ප්‍රාර්ථනා -2 එන්නෙ නැද්ද කියලා අහනවා. ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ හිතේ ඒ ගැන පුංචි බලාපොරොත්තුවක් තියන්නත් මං මේක අවස්ථාවක් කරගන්නවා. ප්‍රේක්ෂකයන්ගේ ආදරේ ලැබෙන ඒ කෑල්ලට තමයි මං ගොඩක්ම ආස. හමු වුණහම අපිත් එක්ක කතා කරනවා. විස්තර අහනවා. සෙල්ෆි ගන්නවා. ඒක නම් මාර දෙයක්. පුදුම අත්දැකීමක්. ඒ ආදරේට මං ගොඩක් ආදරෙයි. 

ඔබට රංගනයට අවස්ථාව ලැබෙන්නෙත් අහම්බෙන් වගේ. ඒ අවස්ථාව ලැබුණු හැටිත් කියමු නේද?

2019 ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය වීම තමයි මේ හැම දේකම මූලාරම්භය. මගේ කලාවට පිවිසීමේ දොරටුව තිබුණෙ එතන. පෙනුම වගේම මගේ නර්තන හැකියාව දැකපු අංජලී බුදවත්ත අක්කා තමයි රංගනය සඳහා මාව යෝජනා කරන්නේ. අරුණ ජයවර්ධනගේ සක්කාරම් ටෙලි නාට්‍යයේ ජයවතී කියන ප්‍රධාන චරිතයට ආරාධනා ලැබෙන්නේ ඒ හරහා. සිවගුරුනාදන් සර්ගේ හිරු ඇවිදින් ටෙලි නිර්මාණයෙන් පස්සේ තමයි දෙවෙනි ඉනිමට සම්බන්ධ වෙන්නේ. රාවණාහි සුපර්ණිකාත් මට සුන්දර අත්දැකීමක් එක් කළ නිර්මාණයක්.

ඔබේ පරපුරේ බොහෝ දෙනෙක් මේ වනවිට විවාහ වෙලා.  ඒ ගැන මොකද හිතෙන්නේ?

මේ දවස්වල මගෙනුත් බොහෝ පිරිසක් අහන ප්‍රශ්නයක් තමයි ඕක. දැන් කාලෙ හරි. බඳින්නෙ නැද්ද කියලා. ඒ මේ දවස්වල මගෙ පරපුරේ අය පෝළිමට විවාහ වෙන නිසා වෙන්න ඇති. මං නම් හදිස්සි වෙන්නෙ නෑ. 100%ක්ම ගැළපෙන කෙනෙක් නම් ලැබෙන්නෙ නැති වෙයි. ඒත් හරි වෙලාවට හරිම කෙනා තෝරගන්නවා. අපි මේ හැමදේම කරන්නේ සතුට වෙනුවෙන්නෙ. අන්න ඒ සතුට කියන කෑල්ලට මං හරිම කැමැතියි. රංගනයේ දී වුණත් තෝරා බේරගෙන නිර්මාණවලට සම්බන්ධ වෙලා මිනිස්සුගෙන් ඒ ආදරේ ලැබෙන කල් තමයි  මං බලාගෙන ඉන්නේ. එතන තමයි මගෙ සතුට තියෙන්නේ.

 

ඒ කියන්නේ නෙත්මිගෙ හිතේ ඉන්න ආදරවන්තයා තවමත් හමු වුණේ නැද්ද?

තාමත් මං ආදරවන්තියක් නෙවෙයි. ආදරය කියන්නේ තාමත් මට හරි සංකීර්ණ දෙයක්. කොයි වෙලාවක හරි ඒක ලැබෙයි. මං කැමති කෙනා එනකල් මං බලන් ඉන්නවා.

ඔබේ බලාපොරොත්තුව මොන වගේ කෙනෙක් ගැන ද?

අන්න ඒකම තමා මට තියෙනව ඩවුට් එක.  ඒක මෙහෙමයි කියලා මට කලින් තීරණය කරන්න අමාරුයි. ඒක බලන්නම ඕන. අපි කැමතිම කෙනා ලැබෙයි කියලා හිතන්න අමාරුයි. 100% ගැළපෙන අය නෑනෙ. මුලින්ම ඇති වෙන්නෙ ආකර්ෂණයක්. කැමැත්ත කියන එක ඇති වෙන්න ඕන හදවතින්මයි. නැතුව කවුරුත් කවුරුන් වෙනුවෙන්වත් වෙනස් වෙන්න ඕන නෑ. අපි ආදරේ කරන්න ඕන ඒ කෙනාට. ඒ කෙනාගෙ විදිහට. දවසක මට හිතෙයි මෙන්න මෙයාට මං කැමතියි කියලා. එදාට එයා ඒ කෙනා වෙයි. ජීවිතේ මොන දේ වුණත් සතුටින් ඉන්න පුළුවන් කෙනෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම කෙනෙක් ලැබෙයි කියලා හිතනවා.

නාමලී ගමගේ

 


 

No comments:

Post a Comment

            ශ්‍රී ලංකා -ඉන්දීය කලාපීය මිතුදමට සේතුවක් සේ පිදෙන                                      DRDගේ  ‘සංජීවනී ලේ ආ රේ‘   එකම ලේ ධාතු...