Thursday, March 23, 2023

     2022 CEYIFF සම්මාන උලෙළේ හොඳම සහාය නිළිය ඇයයි

සිංහල සිනමාව ජාත්‍යන්තරයට ගෙනයෑමේ සිහිනය උදෙසා CEYIFF හා අත්වැල් බැඳගනිමින් CINE STAR පදනම විසින් පවත්වනු ලැබූ 2022 CEYIFF සම්මාන උලෙළේ හොඳම සහාය නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ ඇයයි. සිනමාවට ඇගෙන් ලැබුණු දායකත්වය සීමිත වුවත් ඒ වපසරිය තුළ සාර්ථකත්වයේ උපරිමය ස්පර්ශ කරමින් සම්මානිත වන්නට තරම් ඇය වාසනාවන්ත වූවාය. පුංචි තිරයට අහිංසකත්වය ගෙන ආ ඇය දක්ෂ රංගන ශිල්පිනී හිමාලි සයුරංගිය. ලද ජයග්‍රහණයේ උණුසුම යන්නට මත්තෙන් ඇය අප හා එක්කර ගත්තේ අලුත්ම තොරතුරු දැනගැනීමේ අපේක්ෂාවෙනි.

සිනමාවේ නිතර දකින්න නොලැබුණත් ලැබෙන අවස්ථාවෙන් හිමාලි උපරිම ඵල නෙළා ගත්තා නේද? මෙවර ජයග්‍රහණය ගැන කිව්වොත්?

සිනමාවට මගෙන් මෙතෙක් ලැබුණු දායකත්වය අඩු වුණත් ඒ ලැබුණ හැම අවස්ථාවෙන්ම මට ඵලයක් ලැබුණා. පසුගියදා පැවති සිනේ සම්මාන උලෙළේදී සුනාමි චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නිළියට හිමි සම්මානය ලැබුණා. එවන් සම්මාන  උලෙළක් සිංහල සිනමාව හා ජාත්‍යන්තර සිනමාව අතර පිවිසුමක් නිසා ඒ ගැන මට සතුටුයි.

ඔබ කියන්නේ ඔබට සිනමාවට ලැබෙන ආරාධනාවල අඩුවක් තියෙනව කියල ද?

ඇත්තටම ඔව්. මං දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 18ක් විතර වෙනවා. මේ වෙනතුරු මං දායක වුණු චිත්‍රපට ප්‍රමාණය හරිම සීමිතයි. මට ලැබුණු හැම අවස්ථාවකදිම මම සාර්ථක වුණා කියලා මට විශ්වාසයි.  මීට වඩා අවස්ථා ලැබෙනවා නම් මීට වඩා යමක් කරන්න පුළුවන් කියලා හිතනවා. මගේ  හැකියාවෙන් සිනමාව තාමත් උපරිම ප්‍රයෝජන ගත්තෙ නෑ කියලයි මට හිතෙන්නේ.

මෙවර සම්මානයට පාත්‍ර වුණු සුනාමි චිත්‍රපටයේ චරිතය ගැන කතා කළොත්?

සුනාමි චිත්‍රපටයේ ශ්‍රියානි කියන සිංහල කාන්තාවකගේ චරිතය තමයි මං නිරූපණය කළේ. ඒක සිංහල සහ දෙමළ පවුල් දෙකක් අතර අතිශයින් මානුෂීය හැඟීමක් පාදක කරගෙන සැකසුණු නිර්මාණයක්. ශ්‍රියානි කියන කාන්තාවගේ ළමයා නැති වෙලා, අර දෙමළ පවුලේ ළමයා තමන්ගේම ළමයෙක් වගේ හදාගන්නවා. තමන්ගේ නොවන බව දැන දැනම එයාල පුදුම විදිහට ආදරෙන් හදාගන්නවා. ඒ ළමයා දෙමළෙන් කතා කරන අවස්ථා තිබුණත් හදවත පිළිගන්න සූදානම්  නෑ මේ ළමයා එයාලගේ නොවෙයි කියලා. කොහොමහරි අන්තිමට ලේ පරීක්ෂාවෙන් තමයි ඔප්පු කරන්නේ මේ ඒ දෙමළ පවුලට අයත් ළමයා බව. අන්තිමට නීතියෙන් ඒ ළමයා අර දෙමළ පවුලට අයිති වුණත් පවුල් දෙකේම ආදරේ එක සමානව ලැබෙනවා. මේ තුළින් ගොඩක් දුරට පෙන්නන්න උත්සාහ කරලා තියෙන්නේ ලේ බැඳීමටත් වඩා හදවතේ බැඳීම ප්‍රබලයි කියන එක. ශ්‍රියානි කියන චරිතය චිත්‍රපටය පුරාවට දිගහැරුණු එකක් නොවුණත් දෙබස් අඩු වුණත් විශාල තාත්වික හැඟීම් ප්‍රකාශනයක් තිබුණා. ඒ  නිසා වෙන්න ඇති සම්මානයට පාත්‍ර වුණේ.

 

ඔබ ක්ෂේත්‍රයට පිවිසුණේ රංගන ශිල්පිනියක් විදිහට නොවෙයි නේද?

නැහැ. මං ජාතික රූපවාහිනියේ සහ ස්වර්ණවාහිනියේ නිවේදිකාවක් විදිහට තමයි මුලින්ම ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. නාලන් මෙන්ඩිස් මහත්මයා ඉන්ටර්විව් එකකදි මාව දැකලා ඔහුගේ ‘මම නොවේ මම‘ කියන ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට ආරාධනා කළා. ඒ ආව ගමන තමයි හිමාලි සයුරංගි කියන නිවේදිකාව පරයා රංගන ශිල්පිනිය ඉදිරියට ආවේ. සිකුරු හතේ කියන්නේ මගේ පළවෙනි සිනමා නිර්මාණය. ඒ සඳහා හොඳම නැඟී එන නිළියට හිමි සරසවි සම්මානය හිමිවුණා. මේ වගේම දර්ශන රුවන් දිසානායකගේ ගොවි තාත්තා සිනමා පටයේ  රංගනය වෙනුවෙන් අන්තර්ජාතික සිනමා උලෙළකදී හොඳම නිළියට සම්මානිත වුණා. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේත් හොඳම නිළිය, හොඳම සහාය නිළිය, හොඳම නැඟී එන නිළිය  වගේම ජූරියේ විශේෂ සම්මානත් ලැබිලා තියෙනවා. දෙවරක් හොඳම නිළියට සම්මානිත වුණා.

 

ඔබේ අහිංසක පෙනුම චරිත ලබාදීමේදී බලපෑමක් ඇති කළා ද?

ඔව්. ඉස්සර ඉඳන්ම මට ගොඩක් දුරට ලැබුණේ ගැමි චරිත.  ඒකට හේතුව මගේ රූපයේ තිබෙන ගැමි හුරුව නිසා වෙන්න ඇති. මටත් හිතෙනවා මොඩර්න් චරිතවලට වඩා මාව ගැළපුණේ ගැමි චරිතවලට කියලා. ගොඩක් දුරට මට බටහිර පන්නයේ චරිත ලැබුණා අඩුයි. මං මෙතෙක් කළ හැම චරිතයක්ම වගේ ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ ගත්තා. එදා ඉඳන් ඒ ලැබුණු ආදරේ නම් අඩුවක් වෙලා නෑ.

මේ දවස්වල දිවිතුරා එකේ සමාධිගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

සමාධිට ලැබෙන ප්‍රතිචාර නම් හරිම සතුටුදායකයි. එළියට ගියහම ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන පිළිගැනීම හිතාගන්නත් බෑ. මට ඉන්නෙ අවුරුදු 8ක දුවක්. එයා මාත් එක්ක එළියට යන්න කැමතිම නැත්තේ ප්‍රේක්ෂකයන් සෙල්ෆි ගහන්න කතා කළාම එයා තනියෙන්නෙ. අම්මි එක්ක එළියට ගියාම හරි කරදරයි කියනවා.

දෙවෙනි ඉනිම වගේ දීර්ඝ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වීමෙන් ඔබට ලැබෙන්න තියෙන අවස්ථා මඟහැරුණා කියලා හිතුණෙ නැද්ද?

ඔව් ඒක දීර්ඝ නාට්‍යයක්. පටන් ගැන්මට වඩා පස්සෙ ඒක ස්වාභාවිකත්වයෙන් මිදිලා වෙනස්ම මඟකට යොමු වුණා. දැන්නම් ඒකෙ ෂූටින් ඉවරයි. දිවිතුරා නම් තාම යනවා. තේ දළු නෙළන කාන්තාවකගේ චරිතයකට ආරාධනා ලැබුණා. එය ඉදිරියේ දී  විකාශයට නියමිතයි.

හිමාලි සයුරංගි කියන සාමාන්‍ය ජීවිතේ චරිතය ගැන කතා කළොත්?

හිමාලි සයුරංගි කියන්නේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන ඉදිරිය ගැන මහා ලොකුවට නොහිතන අද ජීවත් වෙන සාමාන්‍ය  කෙනෙක්.  එහෙම වුණහම ජීවිතේ හරි පහසුයි. ලොකුවට අනාගතය ගැනවත් පහුගිය දේවල් ගැනවත් හිත හිත ජීවත් වෙන චරිතයක් නොවෙයි. වර්තමානය සතුටින් ගෙවන උදාවෙන හැම දවසක්ම සතුටින් පටන් ගෙන සතුටින් නිමා කරන කෙනෙක්.

 

                                                                නාමලී ගමගේ

 

 


 

 

 

 

 

 

 

  දුලාන්ගේ සෙනෙහසට ඉඟිපාන අනගිගේ සැබෑ හිමිකරුවා ඔහුයි

    සිහිනයක් මැවුණා

    කාලයක් ගෙවුණා 

    දැස් යුග තෙමුණා

    ආදරේ දැනුණා

ඒ මේ දිනවල බොහෝ සේ ජනප්‍රිය ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ තේමා ගීතය. අනගි කාලයක් තිස්සේම සිහින මැව්වේ දුලාන්ගේ ආදරේ ළඟ නවතින්න. තවමත් කියාගන්න බැරි ආදරය අනගිට සිහිනයක් වුණාට අනගිගේ චරිතයට පණ පොවන හිරුෂිගේ ආදරය පසුගියදා සැබෑ වුණා. ඇය අත ගත්  ඔහු තීක්ෂණ මනරම්. සංගීතේ, දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යවල සම අධ්‍යක්ෂවරයා ද ඔහුය. ඔවුන් දුටු සිහිනයේ සොඳුරුම තැන් ගැන කතා කිරීමේ අදහසින් මෙවර ඔවුන් අපේ කතාබහට එක්කර ගත්තා.

හිරුෂි හොර රහසේම මනාලියක් වුණා කියලා ආරංචියි. කොහොමද ඒ දේවල් සිද්ද වුණේ?

ඔව්. ගිය අවුරුද්දේ දෙසැම්බර්වල තමයි අපි තීරණය කළේ විවාහ වෙන්න ඕන කියලා. ඒක හදිසියේ ම ගත්ත තීරණයක් නිසා ගොඩක් අය දැනන් හිටියෙ නෑ. එයා තීක්ෂණ මනරම් බණ්ඩාර. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. මීට අවුරුදු 3කට කලින් තමයි අපි දෙන්නා හමුවෙන්නේ.  ඒ දෙවෙනි ඉනිම නාට්‍ය රූගත කිරීම්වලදී.  ඊට පස්සේ මට ආරාධනාවක් ලැබුණා  දවස් 5ක ටෙලි නාට්‍යයක් සඳහා.  එතනදි තමයි අපි දෙන්නා කතාබහ කරලා හඳුනාගත්තේ. ෆීල්ඩ් එකට එන්න කලින් අපි දෙන්නම ටුවරිසම් ඉගෙන ගත්තා. එතනදි දැකලා කතාබහ කරලා තිබුණා. ඒ ගැන මතකය අවදි වුණේ මේ නාට්‍යයට සම්බන්ධ වීමත් එක්ක. ඊට පස්සේ තමයි අපේ ආදර කතාවට මුල පිරෙන්නේ. මං කවදහරි අම්මයි තාත්තයි කැමති කෙනෙක් එක්ක විවාහ වෙනවා කියන තීරණයේ හිටියේ. ඒ වගේම එයා මගේ දේවල්වලට ඉඩ දෙන, මාව තේරුම් ගත්ත කෙනෙක් වෙන්නත් ඕන.  ඒ නිසා මං කිව්වා අම්මගෙන් අහන්න කියලා. අම්මගේ පර්මිෂන් නැතුව අපිට කතා කරන්න මුණගැහෙන්න බෑනේ. අම්ම කිව්වා ආශ්‍රය කරලා බලන්න කියලා. අපි අවුරුදු එකහමාරක් විතර ආශ්‍රය කළා. ඊට පස්සේ අපිට තේරුණා අපි දෙන්නගේ අදහස් ගැළපෙනවා කියලා. සමහර තැන් ගැළපුනේ නැතත් අපි ඒවා ගළපා ගත්තා.  අපි දෙන්නා තීරණය කළා අපි දෙන්නට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි තීරණය කළේ විවාහ වෙන්න.

 

ගෙදරින් කැමැත්ත තිබිලත් ඇයි හදිසියේ ම විවාහ වෙන්න තීරණය කළේ?

ගිය අවුරුද්දේ දෙසැම්බර්වල අපි දෙන්නට හිතුණා දැන් විවාහ වෙන්න ඕන කියලා. මේ අවුරුද්දේ මැයි හෝ ජුනිවල විතර වෙඩින් එක ගන්නයි හිතන් හිටියේ. අපි දෙන්නගේ වෙලාවල් බැලුවම  තිබුණේ මේ අවුරුද්දට  නැකැත් දෙකයි. එකක් ජනවාරි අනික පෙබරවාරි. ඉතින් අපි පෙබරවාරි ගන්න තීරණය කළා. ඉතාම කෙටි කාලෙකින් අපි දෙන්න වෙඩින් එක ප්ලෑන් කළේ. ඒත් හිතුවටත් වඩා ලස්සනට වැඩේ කෙරුණා. ඒ හැම දේම ලස්සනට ප්ලෑන් කරගන්න අපිට උදවු වුණේ අශාන් සිල්වා අයියා. ඒ වගේම අපිට උදවු කළ බොහෝ පිරිසක් හිටියා. ෆොටෝග්‍රැපි කළේ ධනුක අයියා ප්‍රමුඛ ඩාර්ක් රූම් කණ්ඩායම. ෆී ෂූට් එක ගොඩක් වයිරල් වුණා. ෆී ෂූට් එකට මට අදහස් දෙකක් තිබුණා. එකක් උඩරට මැණිකේ කෙනෙක් විදිහට වලව්වක, අනික නිදහසේ බීච් එකක. මගේ වගේම ධනුක අයියගෙත් කැමැත්ත වුණේ වලව්වට. ඒක හරිම ලස්සනට තිබුණා. පස්යාල පැත්තෙ වලව්වක් අපි තෝරගත්තේ. ලොකේෂන් එක අපිට ලැබුණේ පැය 3කට. ඒත් පැය 4ක් තිස්සේ අපි නොනවත්වා ෆොටෝ ගත්තා. ගොයින් අවේ හරිම සිම්පල් විදිහට ගත්තේ. ග්රූම් ආර්ට් සඳුන්, ග්ලෝ ෂූ , ශිරන්ත පියුමාල්, මගේ අදහස්වලට  ඉඩ දීලා මාව ලස්සන මනාලියක් කළ සංජීවනී වික්‍රමසිංහ අක්කා, වෙඩින් සාරි එක කළ කණිෂ්ක සඟබෝ, සැලෝන් ලියෝ මේ හැමෝම ලොකු සහායක් දුන්නා. මං මගේ වෙඩින් ඩ්‍රෙස් එක දැක්කෙත් වෙඩින් එකට දවස් 2කට කලින්.

 

වෙඩින් එක තිබ්බේ පෙබරවාරි 23 වැනිදා. දෙවනි මනාලයාට හිටියේ මනෝජ් දේවගේ. ඒකත් රසබර අත්දැකීමක් වුණා. එයා වෙඩින් එකට දවස් දෙකකට කලින් රට ගියා. එයා කිව්වා 23 උදේ 3.30 වෙද්දි සැලොන් ලියෝ එකට එනව කියලා. කලින් දවසේ රෑ කියනවා ප්ලයිට් එක ඩිලේ, ලංකාවට එද්දි 4.30 වෙයි කියලා. ඉතින් කටුනායක ඉඳන් ලියෝ එකට එන්නත් පැය එකහමාරක් විතර යනවා. කොණ්ඩෙ හදන්නත් විනාඩි 45ක් විතර යනවා. දැන් ඉතින් අපි දෙන්න කල්පනා කර කර ඉන්නවා. උදේ 5ටත් නෑ. තීක්ෂණ අයියලගේ ෂූට් එකත් පටන් අරන්. එයා මට මැසේජ් දානවා තාම නෑ මොකද කරන්නේ කියල. මං කිව්වා එයා එනව කිව්වනේ බයවෙන්න එපා එයා එයි කියලා. ඒත් මාත් බයෙන් හිටියේ එයා එයිද කියලා. වෙන කෙනෙක් හොයන්නත් වෙලා නෑ. අපි ෆොටෝ ලොකේෂන් එකටත් ගිහින් එයාට  ගත්තා. ෆෝන් වැඩ නෑ. අපේ ෆොටෝත් අරන්, මේඩ්ස්ලගෙ ඒවත් අරන්. කොහොමහරි අන්තිමට ආවා. මහන්සි නොබලා අපේ වැඩේට උදවු වුණා. අපේ අම්මලවත් මේ කිසි දෙයක් කලින් දැකලා තිබුණෙ නෑ. හෝල් එක විතරක් අම්මට පෙන්නුවා. වැඩේ ලස්සන දැකලා අම්මලත් සර්ෆ්‍රයිස් වුණා. ලවන්ගේ බෑන්ඩ් එක වගේම චානක අයියගේ ඩීජේ එක සංගීතයෙන් රසවත් කළා. ඒ වගේම ආර්ටිස්ලා රැසක් සහභාගි වුණා. මේ හැමෝටම ස්තුතියි.  අපි දෙන්නට මේක තාම හීනයක් වගේ. ෂූටින් දවස් එහෙ මෙහෙ කරලා වැඩකරගන්න නිවාඩු ගන්න ඉස්කෝලේ අධ්‍යක්ෂවරයා ලොකු සහායක් දුන්නා.

තවත් හරි  අපූරු දෙයක් වුණා. අපිට වෙඩින් එකට තීම් කලර් එකක් තිබුණෙ නෑ. හැමෝම අහනව තීම් කලර් එක මොකක්ද කියලා. අපිට ඒ ගැන අයිඩියා එකක් තිබුණෙම නෑ. අපිට ඕන වුණේ කොහොමහරි වෙඩින් එක ගන්න. මගේ ගොයින් අවේ එකේ ගවුම නිර්මාණය කළේ යූ ආර් බ්‍රයිඩ්ල් එකේ වාසනා අක්කා. එයා මට ලස්සන ෆොටෝ වගයක් එවල තිබුණා. ඒකෙ මැජෙන්ටා කලර් ගවුමක් තිබුණා. ඒකට මගේ හිත ගියා. මං එයාට යැව්වා මේ ඩිසයින් එකටයි, කලර් එකටයි දෙකටම මං කැමතියි කියලා. ඊට පස්සේ මේඩ්ස්ලටත් පින්ක් කලර් සිලෙක්ට් කළා. කොහොමහරි හෝල් එකේ ඩෙකරේෂන්වල මට හිතුණා වයිට් කලර් ෆ්ලවර්ස් එක්ක පීච් කලර්  ෆ්ලවර්ස් මික්ස් කරන්න.  නොදැනුවත්වම මේ ඔක්කොම මගේ වෙඩින් ඩ්‍රෙස් එකටත් මැච් වුණා.  අපේ තීම් කලර් එක ඉබේම හැදුණා. ඒ වගේ අපි හිතන්නැති දේවල් ගොඩක් එතන සිද්ද වුණා. ඇත්තටම සතුටුයි. එතනදි තමයි අපේ ෆී ෂූට් එක දැක්කේ. හරිම ලස්සනයි. ඇත්තම කිව්වොත් ඒක දැකලා මට ඇඬුණා. ඒ තරම් ඒක ලස්සනට තිබුණා. ඔන්න ඔහොමයි ඉතාම කෙටි කාලෙකින් අපි දෙන්නගේ ඒ සිහිනය සැබෑ වුණේ.

එකම ක්ෂේත්‍රයේ කෙනෙක් සහකරුවා වීම ගැන හිරුෂිට මොකද හිතෙන්නේ?

මං තාම ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. මේ ක්ෂේත්‍රයේ සමහර තැන්, සමහර දේවල් තියෙනවා අපිට තේරෙන්නැති. සමහර පුද්ගලයන් ඉන්නවා කොතරම් ඇසුරු කළත් තේරුම් ගන්න බැරි. එයා මේ ක්ෂේත්‍රය තුළ අත්දැකීම් බහුල පළපුරුදු කෙනෙක්. එයා මේ ක්ෂේත්‍රයේ ඉන්න එක මට ලොකු සහායක්.

 හිරුෂිගේ ආදරණීය සහකරුවා තීක්ෂණ මනරම් බණ්ඩාරවත් අපි අපේ කතාබහට එක්කර ගත්තා.

හිරුෂි වගේ සුරූපී නිළියක් සහකාරිය වීම ගැන මොකද හිතෙන්නේ, ඇගේ ලස්සනට ද තීක්ෂණගෙ හිත ගියේ?

ලස්සනටත් වඩා එයාගේ අහිංසකකමට වගේම ගතිගුණවලට තමයි හිත ගියේ.  ඒ වගේ කෙනෙක් ලැබීම ගැන ගොඩක් සතුටුයි. මාව තේරුම් ගත්ත කෙනෙක් නිසා මගේ වැඩවලටත් පහසුයි.

නිළියක් සහකාරිය කරගන්න අහද්දි ගෙදරින් විරුද්ධත්වයක් ආවෙ නැද්ද?

ගෙදරින් මට කරදරේ බඳින්නෙ නැද්ද අහලා. කොහොමත් මං හිතාගෙන හිටියේ අම්මලා හොයල දෙන කෙනෙක් බඳිනවා කියලා. අපි දෙන්නා දැනහඳුනාගෙන කතාබහ කරලා තේරුම් ගත්තා. ගැළපෙනවා කියලා හිතුවා. මගේ කැමැත්තට ගෙදරින් ඉඩ දුන්නා. අම්මා හරිම ආදරෙයි හිරුෂිට.

කලා ක්ෂේත්‍රය කියන්නේ බොහෝ කටකතා හැදෙන තැනක්. හිරුෂි සුරූපී නිළියක් නිසා හිතුණෙ නැද්ද වෙනස් වෙයි කියලා?

එහෙම බයක් නම් හිතුණෙ නෑ. මොකද මාත් කාලයක් තිස්සේ මේ ෆීල්ඩ් එකේ ඉන්නේ. හැමෝම මාව දන්නවා. මෙයා කවුද කියලත් දන්නවා. හිරුෂි දක්ෂ කෙනෙක්. ඉතින් මං කැමතියි හොඳ නිර්මාණවලින් එයාගෙ දක්ෂතාව පෙන්නලා ඉදිරියට යනවට. අනික මේක එකිනෙකාගේ අවබෝධය මත වෙන වැඩක්. ජීවිතය තේරුම් ගැනීම සහ විශ්වාසය මත ගොඩනැඟෙන දෙයක්. මං හිරුෂිව ගොඩක් විශ්වාස කරනවා. මං හිතනවා එයා ඒ විශ්වාසය රකීවි කියලා.

තීක්ෂණ මනරම් බණ්ඩාර කියන්නෙත් ජනප්‍රිය ටෙලි නාට්‍ය අධක්ෂවරයෙක්. ඒ ගැනත් කතා කළේ නැතොත් අඩුවක් වේවි නේද?

ඔව්. සංගීතේ සහ දෙවෙනි ඉනිම සම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා. සාරංග අයියා මේ දවස්වල එයාගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වෙලා ඉන්නේ. ඒ නිසා මං තමයි ඒ නාට්‍ය දෙක ගැන බලන්නේ. දෙවෙනි ඉනිම අවසන් වීමට ආසන්නව තියෙන්නේ. අවුරුදු 6කට ආසන්න කාලයක් නොයෙක් හැලහැප්පීම් මැද මෙතෙක් කල් ගෙන ආ නිර්මාණය  හොඳ විදිහකට අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව තවත් වැඩ කිහිපයක් සඳහා සූදානම් වෙමින් ඉන්නවා. ඉදිරියේ දී ඒවා දකින්න ලැබේවි.

 

නාමලී ගමගේ

 


 

 

Monday, March 13, 2023

 රියැලිටි කලාවට නව අරුතක් එක් කළ ඇය ගැනයි මේ කතාව

මා සොයන ආදරය 

කොහෙදෝ තියෙන්නේ

මා පතන ජීවිතය 

කවදද ලැබෙන්නේ

නුවන්දිකා මෙහෙම අහන්නේ පසුගිය දවස්වල බොහෝ ජනප්‍රිය වුණු ස්කෝලේ ටෙලි නාට්‍යයේ තේමා ගීතයේ දී. ඔන්න ඇගේ ඒ ප්‍රශ්නයට පිළිතුරක් ලැබිලා තිබුණා පසුගියදා පැවති ඇගේ විවාහ මංගලෝත්සවයේදී. නුවන්දිකා සේනාරත්න කියන්නේ සංගීතය සහජයෙන්ම රැගෙන ආ යුවතියක්. දෙරණ ඩ්‍රීම් ස්ටාර් රියැලිටි වැඩසටහනේ තරුවක් වූ ඇය වඩාත් ජනප්‍රිය වුණේ ඉස්කෝලේ ටෙලි නිර්මාණයේ තේමා ගීතයෙන්. අද ඇය අපේ කතාබහට එක්කර ගත්තේ ඇගේ ඇලුත්ම තොරතුරු විමසීමේ අදහසින්.

 

නුවන්දිකාටත් මංගල සීනු හැඬවුණා කියලා ආරංචියි.  අපිත් කැමතියි ඒ ගැන දැනගන්න?

ඔව් එයාගෙ නම ජයංග කෞෂල්‍ය. වෘත්තියෙන් සොෆ්ට් වෙයාර් ඉංජිනියර් කෙනෙක්. අවුරුදු දෙකක ප්‍රේමයකින් පස්සේ පසුගියදා අපි විවාහ වුණා.

 වෙනස්ම ක්ෂේත්‍ර දෙකක්. කොහොමද ඒ හමුවීම ?

එයා මාව මුලින්ම දැකලා තිබුණේ ටිවී එකේ සින්දු කියද්දී. ඊට පස්සේ ෆේස්බුක් එකෙන් මාව කන්ටැක්ට් කරගන්න ට්‍රයි කරලා තියෙනවා. ඒ දවස්වල මං රියැලිටි කම්පෙටිෂන් එක ඉවර කරලා නිදහසේ යාළුවොත් එක්ක හිටිය කාලේ. එයා මට තුන් වතාවක් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දාල තිබුණා. තුන් වැනි පාර තමයි මං ඇක්සෙප්ට් කළේ. ඊට පස්සෙ චැට් කළා. මාස 6ක් 7ක් විතර එයා දාපු මැසේජ් මං බලලා තිබ්බෙ නැහැ. මගේ වෙබ් සයිට් එකක් හදල දෙන්න පුළුවන් කියලා මැසේජ් එකක් එවලා තිබුණා. ඒක උදවුවක්නේ කියලා මාත් ඉතින් ස්තුති කරලා දැම්මා. ඊට පස්සේ ආයිම මං මැසේජ් කළේ නෑ. පස්සේ එයා මගේ ඊමේල් එකේ ඩොමේන් එක අරන් වෙබ් සයිට් එකක් හදලා මට එව්වා. සාමාන්‍යයෙන් සමහරු ඩොමේන් අරන් ලොකු ගණන්වලට දෙන්න බලාගෙන ඉන්නවනේ. මං හිතුව මෙයත් එහෙම කෙනෙක් කියලා. ඒකට නම් මට තරහා ගිහින් මැසේජ් එකක් දැම්මා මගෙ ඩොමේන් එක මට ඕන කියලා. එයා කියලා තිබුණා. මං ඒක ගත්තේ වෙන දේකට නොවෙයි, වෙබ් සයිට් එකක් හදන්න කියලා. එහෙම තමයි කතාබහ පටන් ගත්තේ.

පස්සේ මගේ උපන්දිනේට කලින් දවසේ එයා එයාගේ අයියත් එක්ක අපේ ගෙදර හොයාගෙන ඇවිත් තිබුණා. එදා මං කොළඹ ප්‍රෝග්‍රෑම් එකක හිටියේ. කොහොමහරි මං නැති බව දැනගෙන ආයිම මං ඉන්න තැන හොයාගෙන කොළඹ ආවා. එදා තමයි මං එයාව මුලින්ම දැක්කේ. එදා හිතුණා මේ තමයි මං හොයපු රූපෙ කියලා. මුලින්ම අපි දකින්නේ රූපෙනේ. මං බලාපොරොත්තු වුණ විදිහ ඒක තමයි. මාස 2ක් විතර ඔහොම කතාකළා. හමුවුණා. කොහොම කෙනෙක්ද කියලා අඳුනගත්තා. දන්නෙම  නැතුව ඒක ආදරයක් බවට පත්වුණා. අවුරුදු දෙකකට පස්සේ අපි විවාහ වුණා. 

නුවන්දිකා දෙරණ ඩ්‍රීම් ස්ටාර් නිසා ද කලා ක්ෂේත්‍රය හඳුනගන්නේ?

නැහැ. මං කොහොමත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීතය හැදෑරුවා. ඒ නිසා සංගීත ක්ෂේත්‍රයේ හිටියා. මං විසිටින් ලෙක්චර්ස් කරනවා. මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණේ මේ රියැලිටි වැඩසටහන නිසා. දෙරණ ඩ්‍රීම් ස්ටාර් 9 වැනි සීසන් එකේ අනුශූරතාව හිමි වුණා.

ඔබ තරග වැදුණු ඒ රියැලිටි වේදිකාවේම  දැන් ඔබට තරගකරුවන් විනිශ්චය කිරීමේ අවස්ථාව ලැබිලා. මොකක්ද ඒ ගැන හිතෙන්නේ?

දෙරණ ජයග්‍රාහකයෝ කවදාවත් අතාරින්නෑ. ඒ ගැන මතක් කරන්නම ඕන. දෙරණ ලිට්ල් ටයිට්න් වැඩසටහන තමයි මට ඒ අවස්ථාව ලබාදුන්නේ. පොඩි අයගෙ අඩුපාඩු පෙන්නලා දුන්නම එයාල ඊළඟ දවසේ ඒවා හදාගෙන ඇවිත් දක්ෂතා පෙන්නද්දි අපිට හරිම සතුටුයි. ඒක ගොඩක් වටිනවා. විශ්වවිද්‍යාලයේ, සමහර ස්කෝලවල තරගවල විනිශ්චය ලබාදෙන්න ගිහින් තිබුණට ටීවී ස්ක්‍රීන් එකක ජැජ් බෝඩ් එකක හිටියේ පළවෙනි වතාවට. ඒක වෙනස්ම අත්දැකීමක්.

 

‘සිහිනයක් මැවුණා‘ කියන ඉස්කෝලේ තේමා ගීතය නුවන්දිකාගේ සංගීත ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණා කිව්වොත්?

ඇත්තටම ඔව්. දෙරණ උපසභාපති ලක්සිරි සර් තමයි මට ඒ සඳහා ආරාධනා කළේ. අලුත් නාට්‍යයකට මෙහෙම සින්දුවක් තියෙනවා කියන්න කැමති ද කියලා. මාත් ගොඩක් කැමැත්තෙන් හිටියේ අලුත් ටෙලි නාට්‍යය ගීතයකට. මං පැනලම භාරගත්තා. ලක්සිරි සර්ගේ මැදිහත් වීමෙන් තමයි ඒ සින්දුව හැදුණේ. යනකන්ම මාත් දැනන් හිටියෙ නෑ ඒක තේමා ගීතය කියලා. ඒක ගොඩක් ජනප්‍රිය වුණා. ටෙලි නාට්‍ය ජනප්‍රියත්වයටත් ඒ සින්දුව බලපෑව කිව්වත් හරි. මොකද ඒක යොදාගෙන කවර් සෝන් ගොඩක් කළා. මේ වෙද්දි යූ ටියුබ් එකේ මිලියන 7කට ආසන්න ප්‍රමාණයක් ඒක නරඹලා තියෙනවා. මට ප්‍රසංගවලදී ඉස්කෝලේ සින්දුවයි, මලෙන් උපන් සමනලී එකයි අනිවාර්යයෙන්ම කියන්න වෙනවා.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ ගැන කතා කළොත්?

ෂර්මිලා ධර්මරාසා මහත්මියගේ අලුත් ටෙලි නාට්‍යයක ගීතයක් ගායනා කළා. ඒක එන්න තියෙනවා. ඒ වගේම සෝමරත්න දිසානායක සර්ගේ සිංහබාහු චිත්‍රපටයේ සහ චන්න පෙරේරාගේ සඳ දිය සළු එකේ ගීත ගායනා ඉදිරියට එන්න තියෙනවා. පසුගිය කාලේ කබඩි චිත්‍රපටයේ අමල් පෙරෙරා එක්ක ගායනා කළ සින්දුවත් ගොඩක්ම ෂෙයාර් වුණා. ඒ වගේම තවත් ආරාධනා ලැබිලා තියෙනවා. මගේ හිතේ තියෙන විදිහට විෂුවල් කරලා සින්දුවක් කරගන්න තාම මට බැරි වුණා. බලාපොරොත්තුවක් තියෙනවා ගීත කිහිපයක් එකතු කරලා ඇල්බම් එකක් කරන්න.

 නාමලී ගමගේ



 

         වෙඩි නොවදින ළමයි ඇගේ කුලුඳුල් සිනමා අත්දැකීමයි

මේ දිනවල ප්‍රදර්ශනය වන ‘වෙඩි නොවදින ළමයි‘  බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු චිත්‍රපටයකි. ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුණු හෝ ගානා පොකුණ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඉන්දික ෆර්ඩිනැන්ඩෝගේ නිර්මාණයක් වන මෙය මෙරටට කීර්තියක් අත්කරදුන් සුවිශේෂී සිද්ධියක් වූ ක්‍රිකට් විජයග්‍රහණය මූලික කරගනිමින් සමාජයේ විවිධ පැතිකඩ නියෝජනයන් කරමින් වෙනස්ම මානයක් ගෙන ඒමට ගත් උත්සාහයක් ලෙස  හැඳින්විය හැක.  එහි බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු තාරුකාගේ චරිතය තුළින් ඔබ හමුවට එන ප්‍රබෝදිනී චන්ද්‍රසේන තම කුලුඳුල් රංගන අත්දැකීම් අප හා බෙදා ගත්තේ මෙලෙසිනි. 

 ප්‍රබෝදිනීගෙ  කුලුඳුල් රංගනය නේද මේක කොහොමද ලැබෙන ප්‍රතිචාර?

කියන්න සතුටුයි. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගේ මුල්ම රංගනය නිසා මට මේ ලැබෙන ප්‍රතිචාර ගොඩක් වටිනවා.

වෙඩි නොවදින ළමයි මොන වගේ අන්තර්ගතයකින් නිර්මාණය වුණු එකක් ද?

මේක ළමුන් වෙනුවෙන්ම නිර්මාණය වුණ එකක් විදිහටම ගන්නත් බෑ. මොකද මේක සමාජ පැතිකඩ කිහිපයක්ම නියෝජනය වන නිර්මාණයක්. එහෙම වයස් කාණ්ඩයකට කොටු කරන්න බෑ. අපේ රටට කීර්තියක් ගෙන දුන් ක්‍රිකට් ජයග්‍රහණය මුලික කරගෙන ඒ කාලෙට සාපේක්ෂව අපේ රටේ සිදුවුණු අනුවේදනීය සත්‍ය සිදුවීම් පාදක කරගෙන තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. මේකෙ එන හැම චරිතයක් පිටිපස්සෙම යම්කිසි කතාවක් තියෙනවා. ඒ විදිහට තමයි මේක ගොඩනැඟිලා තියෙන්නේ. 

 

මේ චිත්‍රපටය තුළ ඔබේ දායකත්වය ගැන කතා කළොත්?

මට ලැබුණේ ඉගෙන ගන්න ළමයකුගේ චරිතයක්. එයාගේ නම තාරුකා. එයා පවුලේ එකම ළමයා. ආදර සම්බන්ධතාවක් හේතුවෙන් එයා එක තැනකදි ගන්න තීරණයත් එක්ක වන හැළහැප්පීම් එක්ක තමයි චරිතය ගොඩනැඟිලා තියෙන්නේ.

ඉන්දික ෆර්ඩිනැන්ඩෝ කියන්නේ ජාත්‍යන්තර සම්මානලාභී අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේ කෙනකුගේ නිර්මාණයකට දායක වෙන්න ලැබුණ ආකාරය ගැනත් සඳහන් කරමු?

මං විශ්වවිද්‍යායේ ඉගෙන ගන්න කාලෙදි අපේ සර් කෙනෙක් හිටියා නලින් ලුසේනා කියලා. ඒ සර් තමයි මට කිව්වේ මෙහෙම වැඩක් තියෙනවා, ගිහින් බලන්න කියලා. ඊට පස්සේ මං ගිහින් ස්ක්‍රීන් ටෙස්ට් එකට ෆේස් කළා. ඒකෙන් මාව සිලෙක්ට් වෙලා තිබුණා.  ඒ ගැන සර්  මට කිව්ව වෙලාවේ ලොකු සතුටක් දැනුණා.  මං දැනන් හිටියා මේකෙන් මට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කියලා.

මේක ඔබේ පළමු සිනමා අත්දැකීම. මුලින්ම කැමරාවට මුහුණ දෙද්දි චකිතයක් ඇති වුණේ නැද්ද?

මේක මගේ මුල්ම රංගනය වුණාට මට ලොකු වෙනසක් දැනුණෙ නෑ. මොකද මං විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිද්දි ස්ක්‍රීන් ඇක්ටින් කළා. ඒ නිසා බයක් දැනුණෙ නෑ. ගොඩක්ම තිබුණෙ රාත්‍රී දර්ශන. මේක මගේ පළමු නිර්මාණය වුණ නිසා මේ සියල්ලම මට අත්දැකීමක් වුණා.

ඔබ නවක නිළියක් විදිහට අධ්‍යක්ෂවරයාගෙන් ලැබුණු සහයෝගය ගැන කතා කළොත්?

 ඒක නම් කියන්නම ඕන. අධ්‍යක්ෂවරයාගෙන් උපරිම සහායක් ලැබුණා. මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ විතරක් නොවෙයි ඒ නිර්මාණයට දායක වුණු සියලුම රංගන ශිල්පීන්, ශිල්පිනියන් ඇතුළු මුළු කණ්ඩායමෙන්ම ලොකු සහායක් ලැබුණා. ජයලත් මනෝරත්න, අනුලා බුලත්සිංහල, හේමසිරි ලියනගේ, ගයාදේව එදිරිසිංහ වගේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් අත්දැකීම් ලබාගන්න පුළුවන් වුණා. ඒ  වගේම කලණ ගුණසේකර, අනසුයා සුබසිංහ වගේ නව පරපුරේ අයගෙනුත් ලොකු සහායක් ලැබුණා. නවක රංගන ශිල්පිනියක් විදිහට සීන් එකක් ඉවර වුණාට පස්සේ ඊළඟ සීන් එකට යන විදිහ, ඊට පස්සේ චරිතය ගොඩනඟා ගන්න විදිහ ගැන එයාල මාව නිතරම දැනුම්වත් කළා. 

 

වෘත්තියක් විදිහට රංගනයේ යෙදෙන්නද ඔබේ අදහස?

මම වෘත්තියෙන් රජයේ පාසලක ඩ්‍රාමා ගුරුවරියක්. ඒක මගේ මුල්ම ගුරු පත්වීම. මං යද්දි ඒ පාසලේ ඩ්‍රාමා විෂය තිබුණෙ නැහැ. මං ගියාට පස්සෙ තමයි පාසලේ ඒ විෂය උගන්නන්න පටන් ගත්තේ. රංගනයයි  වෘත්තියයි දෙකම සමබරව කරගෙන යන්න තමයි අදහස. හොඳ චරිතයක් ලැබුණොත් ඉදිරියෙදිත් රංගනයෙන් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

ගෙදරින් ලැබෙන්නෙ මොන වගේ සහයෝගයක් ද?

මුලදි මුලදි නම් ගෙදරින් කැමති වුණේ නෑ. පස්සේ එයාල තේරුම් ගත්තා මං වැරැද්දක් කරන්නේ නැහැ කියලා. දැන් නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාලා මගේ ගමනට ආශීර්වාදයක්.

 නාමලී ගමගේ

 


 

 

Wednesday, March 8, 2023

           නවීන  ක්‍රමයට ශිල්පය බෙදා දෙන ගණිත ගුරුවරයා     

ඔහු උගත්, බුද්ධිමත් තරුණයෙක්. ඒ වගේම කඩවසම්. වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. ඒ වගේම ඔහු දක්ෂ ගුරුවරයෙක්. ඒ විතරක් නොවෙයි. ඒ වෘත්තීන් දෙකම ඔපවත් කරමින්  සුවහසක් ප්‍රේක්ෂක හදවත්  දිනූ  රංගන ශිල්පියෙක්.  දෙවනි ඉනිම ටෙලි නාට්‍යයේ රදීෂ්ගේ චරිතය තුළින්  ඔබ හමුවන ඔහු ඉෂාර මධුෂාන්. අද කතාබහ ඔහු සමඟයි.

ඔබ ඉංජිනේරුවරයෙක් වගේම වෘත්තියෙන් ගුරුවරයෙක්. රංගන ශිල්පියෙක් විදියට කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොම ද?

 “මං පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය නිම කළේ  ඉංජිනේරුවරයෙක් විදියට. විශ්වවිද්‍යාලයේ ඉන්න කාලෙදිමයි සාමාන්‍ය පෙළ ළමයින්ට ගණිතය විෂය උගන්නන්න පටන් ගත්තේ. ඒ පටන් ගැන්ම දිගටම කරගෙන ආවා.

ඩයලොග් ආයතනයේ ඇක්සස් නෙට්වර්ක් ඉංජිනේරුවරයෙක් විදියට මං කාලයක් සේවය කළා. කාර්යබහුලත්වය නිසාම  රැකියාවෙන් ඉවත් වෙන්න වුණා. දැන් මං රංගන ශිල්පියෙක් විදියට ප්‍රේක්ෂක ආදරය විඳිමින් ඉන්නෙ.  ඒ වගේම ගුරුවරයෙක් විදියටත් සේවයක් කරනවා.

මගේ රංගනයට පිවිසීම අහම්බෙන් සිදුවුණු දෙයක්. දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතාගේ ආරාධනයෙන් තමයි මං දෙවනි ඉනිම ටෙලි නාට්‍ය සඳහා සම්බන්ධ වෙන්නේ. ඊට කලින් වෙනත් නාලිකා දෙකක අවුරුදු කුමාරයා විදියට තේරිලා තියෙනවා. ඒත් මුලින්ම මං රංගන ශිල්පියෙක් විදියට දායක වෙන්නේ දෙවනි ඉනිම ටෙලි නාට්‍යයට. රදීෂ් කියන චරිතය නිසා ලංකාව පුරාම මිනිස්සු දැන් මාව අඳුනනවා. ඒක හොඳ අත්දැකීමක්.

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගුරුවරයා කියන භූමිකාවටත් ඒක ආභරණයක් වුණා.රංගන ශිල්පියා නිසා ගුරුවරයා වඩාත්  ඉස්මතු වුණා කිව්වොත් නිවැරැදියි. ඉෂාර මධුෂාන් කියන ගුරුවරයා බොහෝ දෙනෙක් හඳුනගන්නේ රංගන ශිල්පියා නිසා. දෙවනි ඉනිම දිගු නාට්‍යයක් නිසා මගේ පළමු නිර්මාණයෙන්ම දිගු කාලයක් ප්‍රේක්ෂකයා සමඟ රැඳෙන්න පුළුවන් වුණා. ඒ නිසාම ඔවුන්ගේ මතකයේ රැඳෙන්න මට හැකියාවක් ලැබුණා. දැන් එය අවසානය කරා ළඟාවෙමින් තියෙන්නේ. ඇත්තටම රංගන ශිල්පියෙක් වීම මගේ ජීවිතේට ලොකු වාසනාවක්. තවත් අලුත් නාට්‍යයකට ආරාධනා ලැබුණා. ඉක්මනින්ම ඒකෙ වැඩකටයුතු ආරම්භ වේවි. ඉදිරියටත් හොඳ නිර්මාණ ලැබුණොත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා.

 ඉංජිනේරුවරයෙක් වෙන එක ලේසි දෙයක් නෙවෙයි. ඔබ ලබාගත් ඒ දැනුමෙන් දැන් ප්‍රයෝජනයක් ගන්නෙ නැද්ද?

“ඕනම කෙනෙක් ඉගෙන ගත්ත දෙයක් කවදාවත් අපතේ යන්නෙ නෑ. මං ඉංජිනේරුවරයෙක් විදියට ලබාගත් දැනුම හැමදාම මට ඕන වෙනවා. මං පන්ති පවත්වන්නේ මාර්ගගත  ක්‍රමයට. ඒකත් සාමාන්‍ය තත්ත්වයෙන් නෙවෙයි. හොඳ ස්ටුඩියෝ එකක ඉහළම තාක්ෂණික ක්‍රම යොදාගෙන. මේ වෙද්දි හොඳ ප්‍රතිඵල ලැබිල තියෙනවා.  උසස් පෙළ භෞතික විද්‍යා විෂය සඳහාත් පන්ති ඉක්මනින්ම පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මං ව්‍යාපාර ක්ෂේත්‍රයටත් අත ගහලයි තියෙන්නේ. කාර් සේල් එකක් පටන් ගත්තා. ඉංජිනේරුවරයෙක් විදියට වෘත්තිය නොකළත් මගේ ඒ දැනුම මගේ අනෙක් කටයුතුවලට අත්වැලක් වුණා. කවදාවත් ඒ දැනුම අපතේ යන්නෙ නෑ.

 ඔබ වඩාත්ම ප්‍රතිචාර ලබන්නේ ගුරුවරයා විදියට ද රංගන ශිල්පියා විදියට ද?

“මං ගුරුවරයෙක් වුණේ විශ්වවිද්‍යාලයේ ඉන්න කාලෙමයි. උසස් අධ්‍යාපනය නිම වුණාට පස්සේ ගුරුවරයා කියන භූමිකාව වෘත්තියක් විදියට කරගෙන ආවා.  නමුත් ඉෂාර මධුෂාන් කියන ගුරුවරයා බොහෝ පිරිසක් අඳුනගත්තේ  රංගන ශිල්පියා නිසා. රංගනයට උගත්කමත් එකතු වුණහම ඒකට ලොකු වටිනාකමක් ලැබෙනවා. ඒ නිසා මං හිතන්නේ ඉංජිනේරුවරයා හා  ගුරුවරයා නිසා රංගන ශිල්පියාට ක්‍රෙඩිට් එකක් ලැබෙනවා වගේම රංගන ශිල්පියා නිසා             ගුරුවරයාටත් ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා.

ඔබ කඩවසම්. ඒ වගේම උගත් බුද්ධිමත් තරුණ‍යෙක්. යොවුන් වියේ සුන්දර ආදරය ගැනත් අත්දැකීමක් ඇති?

“ආදරය කියන්නේ හරිම සුන්දර හැඟීමක්. ඒත් මගේ කාර්යබහුලත්වය නිසා ඒ හැඟීමට තාමත් මගේ හිතේ ඉඩක් දෙන්න බැරි වුණා. ඇත්තම කියනව නම් මං තාමත් ආදරවන්තයෙක් නොවෙයි.

නාමලී ගමගේ

 



            ශ්‍රී ලංකා -ඉන්දීය කලාපීය මිතුදමට සේතුවක් සේ පිදෙන                                      DRDගේ  ‘සංජීවනී ලේ ආ රේ‘   එකම ලේ ධාතු...