Friday, April 28, 2023

      ලංකාවේ අලි ගැන  වැඩිපුරම කතාකරන මාධ්‍යවේදියා - අසංක

ජාතික රූපවාහිනිය රජය හා සම්බන්ධ වගකීම අතින් ඉහළම මාධ්‍ය ආයතනයකි. ප්‍රවෘත්ති විකාශය එහි ප්‍රධානම සුවිශේෂීම අංගයකි. එහි ප්‍රවෘත්ති නිවේදනයට තේරීමත් සුවිශේෂීය. ඒ අතරින් රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව නොකියාම බැරිය. රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඉදිරිපත් කරන ප්‍රමුඛ පෙළේ නිවේදකයකු වන ඔහු අසංක නිලඟරත්නය.

බියංකා සමඟ වැඩිපුරම රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ගෙන එන ඔහු අසංක නිලඟරත්නයි. ඔහුත් අපේ කතාබහට එක්කර ගත්තා. 

ජාතික රූපවාහිනියේ රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේදි  බියංකත් එක්ක වැඩිපුරම කපල් වෙන්නෙ අසංක. කොහොමද ඒ වගකීම දැනෙන්නේ?

අපි නිතරම ඉන්නෙ වගකීම කියන බැම්මෙන් බැඳිලා. බියංකා කියන්නේ හොඳ දැනුමක්, අවබෝධයක් සහිත සහායකයෙක්. ප්‍රවෘත්ති විකාශයේ දී සත්‍ය හා නිවැරැදි බව වගේම රටේ ලෝකෙ තොරතුරු ගැනත් අපි අප්ඩේට් වෙන්න ඕන. නිවුස් රූම් එකෙන් ලැබෙන නිවුස් එක කියවගෙන යනවට වඩා ඒ ගැන අපිත් දැනුවත් වෙලා හිටියොත් අපිට ඒක වඩා විශ්වාසෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. මම ප්‍රවෘත්ති අංශයේ නිෂ්පාදකවරයෙක් විදිහටත් කටයුතු කරන නිසා ප්‍රවෘත්ති නිවේදනයේ දී ඒක මට පහසුවක්. ඊට අමතරව මං පාර්ලිමේන්තු වාර්තාකරණයෙත් යෙදෙනවා. ඒ වගේම කාර්යභාර සංස්කාරක කියන වගකීමත් දරනවා.

කොහොම ද එතකොට අසංක ප්‍රවෘත්ති නිවේදනයට  සම්බන්ධ වෙන්නේ?

පොඩි කාලෙ ඉඳන්ම තිබුණෙ නිවේදකයෙක්, මාධ්‍යවේදියෙක් වෙන හීනයක්. රජරට සේවයේ වැඩසටහන්වලටත් ගියා. මූලික අධ්‍යාපනය හැදෑරුවේ කිරිමැටියාව මහා විද්‍යාලයෙන්. ඊට පස්සේ කුලියාපිටිය සාරනාත් මහ විද්‍යාලයට ඇතුළත් වුණා. ආරියරත්න ඇතුගල සර් ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතීත්වය දරපු කාලෙ රූපවාහිනී පර්යේෂණ හා පුහුණු ඒකකයේ  රූපවාහිනි මාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කළා. ඒකට අයඳුම් කරලා තමයි රූපවාහිනියට අඩිය තිබ්බේ. ඔය අතරේ ගුවන්විදුලියේ සහන නිවේදකයෙක් විදිහටත් තේරුණා. පාඨමාලාව අවසන් වෙන කාලෙ රූපවාහිනි ප්‍රවෘත්ති අංශයේ කාර්ය මණ්ඩලයේ අඩුවක් නිසා අපෙන් ළමයි 6 දෙනෙක් තෝරගත්තා. ඒ අතරේ මාත් හිටියා. මුලින්ම ප්‍රවෘත්ති අංශයට. 2009 ඉඳන් පුහුණුවන නිෂ්පාදක සහකාරවරයෙක් විදිහටත් වැඩ කළා. ප්‍රවෘත්ති හඬකැවීම්වලට සහභාගි වුණා. ප්‍රවෘත්ති කියන්නත් ලොකු ආසාවක් තිබුණා. 2010 වසරේ එක දවසක ඇතුගල සර්  කොරිඩෝ එකේදි හමුවෙලා මට කිව්වා අසංක ඔයාගෙ කටහඬ හොඳයි ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරල ගෙනත් පෙන්නන්න කියලා. ඒ විදිහට තමයි රූපවාහිනියට සම්බන්ධ වුණේ. 2010 අප්‍රේල් 15 තමයි පළමුවෙන්ම ප්‍රවෘත්ති ඉදිරිපත් කළ දවස.

රූපවාහිනී සජීවී තිරය මත ප්‍රවෘත්ති නිවේදනයේ පළමු අත්දැකීම කොහොමද ඔබට දැනුණෙ?

නිවේදන කටයුතු කරල තිබුණත් ප්‍රවෘත්ති කියන්න වාඩි වුණාම ලොකු තිගැස්මක් ඇති වුණා.  සත්‍යතාව, නිවැරැදිභාවය උපරිමයෙන්ම තිබිය යුතු වගකීම් සහගත ක්ෂේත්‍රයක් මේක. එදා ඒ දැනුණ තිගැස්ම තීම් එක ගහල එද්දි අදටත් මට දැනෙනවා.  

එතකොට ඔබට රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ලැබෙන්නෙ කොහොමද?

ඒකත් අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. මට තිබුණෙ පැයෙන් පැය පුවත් සහ දවල් 12.30. දවසක් ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදක එන්න පරක්කු වුණා. පැය භාගයයි තිබුණේ. ඒ වෙද්දි මං 12.30 ඉවර වෙලා මැදිරියේ හිටියේ. ප්‍රවෘත්ති අධ්‍යක්ෂකගෙන් පණිවිඩයක් ලැබුණා අසංක ඉක්මනට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය කරන්න ලේස්තිවෙන්න කියලා. මං ඉක්මනින් සූදානම් වෙලා මැදිරියට ගිහින් වාඩි වෙලා ඉන්නකොට විනාඩි දහයක් තියලා අදාළ නිවේදක ආවා. එදා ඔහුට ඉඩදීලා මං නැඟිටලා ආවා. තවත් දවසක් ඔය විදිහටම ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදකට එන්න බැරි වුණා. එදත් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ කිව්වා අසංක ඉක්මනින් ලේස්තිවෙලා එන්න කියලා. එදා තමයි රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය කරන්න අවස්ථාව ලැබුණේ. ඒ 2014 වසරේ. හදිසියේ වුණත් ඒ වගකීම හරියට කළ නිසා හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිශාන්ත උදේවංශ මහතාගේ මැදිහත් වීමෙන් ප්‍රධාන ප්‍රවෘත්ති රෝස්ටරේට මගෙ නමත් ඇතුළත් කළා. 

ප්‍රවෘත්ති විකාශයේදිත් අමතක නොවන රසවත් අත්දැකීම් ඇති නේද?

එක දවසක් මං ප්‍රවෘත්ති විකාශය නිමාවෙලා ඩෝමැට්‍රි එකේ ඉද්දි ප්‍රවෘත්ති අධ්‍යක්ෂගෙන් කෝල් එකක් ආවා අසංක හදිසි බ්‍රේකිං නිව්ස් එකක් ඉක්මනට ඔයා එන්න කියලා. මං එවෙලෙ හිටියෙ කොට කලිසම පිටින්. කමක් නෑ  මේක හදිසියි එන්න කිව්වා. මං කොට කලිසටම උඩින් ෂර්ට් එකයි, කෝට් එකයි දාගෙන ගිහින් නිව්ස් එක කිව්වා. ඒක තවත් විශේෂ වුණේ එදා කාර්ය මණ්ඩලයත් නෑ. කැමරාවට හිටියෙ ප්‍රවෘත්ති කැමරා ඒකකයේ ප්‍රධානියා. මැදිරි නිෂ්පාදක විදිහට හිටියේ නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ. ඒකට අදාළ කැසට් එක ප්ලේ කළේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රවෘත්ති. ඒක නම් කවදාවත් මට අමතක වෙන්නෙ නැති අත්දැකීමක්.

ඔබ බලාපොරොත්තු වුණු, හීන දැක්ක මාධ්‍යවේදියා ඔබ තුළින් මතුවුණා  කියලා හිතනවද?

ඔව්. මම මගේ වෘත්තිය ගැන තෘප්තිමත්. මං ප්‍රතිපත්තියක් විදිහට තිරයේ පෙනී ඉන්නේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් සම්බන්ධ වැඩසටහන්වලදී විතරයි. පාර්ලිමේන්තු වාර්තාකරණයේ දී පෙනී ඉන්නවා. මං විශ්වාස කරන දෙයක් තමයි ප්‍රවෘත්ති නිවේදකයෙක් ඒ හා සම්බන්ධ වැඩසටහන්වලට පමණක් සම්බන්ධ වුණා නම් හොඳයි කියන එක.

අසංක නිලඟරත්න කියන්නෙ අලි පිස්සෙක් කිව්වොත්?

පුංචි කාලෙ ඉඳන්ම මට ඒ ආසාව තිබුණා. රූපවාහිනියට ආවට පස්සෙත් අලි පිස්සුව එහෙමම තිබුණා. මං ප්‍රවෘත්ති නිෂ්පාදකවරයා විදිහට කටයුතු කළොත් අලි නිවුස් එකක් කරනවාමයි. ලංකාවෙ අලි ගැන වැඩිපුරම කතා කරන මාධ්‍යවේදියා මං වෙන්නත් ඇති. ඒක සංසාරගත බැඳීමක් වගේ. 

වගකීම් සහිත රැකියාවක් කරද්දී සමීපතමයන්ගේ සහාය  වගේම තේරුම් ගැනීමත් වැදගත් නේද?

අනිවාර්යයෙන්ම. මං විවාහ වෙලා පුංචි පුතෙක් ඉන්නවා.  මගේ බිරිය හමුවුණෙත් ගුවන්විදුලි සංස්ථාවේ සහන නිවේදකයෙක්  විදිහට තේරිලා ගුවන්විදුලි අභ්‍යාස ආයතනයේ ට්‍රේනිං  කාලෙදි. එයා අයන්ති සමන්එළිය. එයාට මේ ෆීල්ඩ් එක ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා මට මේ කටයුතු කරගන්න ලොකු සහායක්, සහනයක් එයාගෙන් ලැබෙනවා. 

 

රාත්‍රී 8  ප්‍රවෘත්ති විකාශය වැඩි වාර ගණනක් ගෙන එන ඇය - බියංකා

නිවේදන කලාවත් විවිධ පැතිකඩ ඔස්සේ ගලායන්නකි. ප්‍රවෘත්ති නිවේදනය යනු එහි වගකීම් වැඩිම අංශයයි. ප්‍රවෘත්ති නිවේදනයට වාග් චාතූර්ය පමණක්ම සෑහෙන්නේ ද නැත. උචිත කටහඬ, රටේ ලෝකයේ තොරතුරු පිළිබඳ දැනුම්වත් බව මෙන්ම යාවත්කාලීන වීම ද අනිවාර්ය වේ.  බියංකා ප්‍රේමසිරි සහ අසංක නිලඟරත්න යනු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ රාත්‍රී 8 ප්‍රධාන පුවත් විකාශයේ  නිවේදක යුවලකි.  පුවතේ සත්‍ය හා නිවැරැදි බව සොයමින් යන ගමනේ  සොඳුරු අත්දැකීම් ගැන ඔවුන් හා කළ කතාබහයි මේ.

ජාතික රූපවාහිනියේ  රාත්‍රී 8 ප්‍රධාන පුවත් විකාශයේ නිවේදක යුවළ අතරින් වැඩිපුරම කාන්තා පාර්ශවය නියෝජනය කරන්නේ බියංකා. ඒකට විශේෂ හේතුවක් තියේ ද?

සාමාන්‍යයෙන් ප්‍රධාන පුවත් විකාශය සිදුකෙරෙන්නේ දෙපාර්ශවයෙන් දෙන්නෙක්. ප්‍රවෘත්ති නිවේදිකාවන්ගේ හිඟය නිසා බොහෝ විට මට ඒ අවස්ථාව  වැඩිපුර ලැබෙනවා. 

ප්‍රවෘත්ති විකාශය ඉදිරිපත් කරනවා කියන්නේ ඉතා වගකීමෙන් කළයුතු බැරෑරුම් කටයුත්තක්. ඔබේ වගකීම එතනින් නිමයිද?

ප්‍රවෘත්ති ඉදිරිපත් කරනව වගේම මං ප්‍රවෘත්ති අංශයේ සහකාර  නිෂ්පාදිකාවක් විදිහටත් කටයුතු කරන අතරතුර උදෑසන ලෝක ප්‍රවෘත්ති ගැන කියවෙන සිව් දෙස වැඩසටහනත් කරනවා. ඊට අමතරව කවරේජ්වලටත් යනවා. මේ හැම කටයුත්තක්ම වගකීම කියන හුයෙන් බැඳිලා තියෙන්නේ.

මහජනතාව ඉදිරියේ සත්‍ය හා නිවැරැදි භාවය තහවුරු කිරීමට ඔබ බැඳී ඉන්නවා. ඔබ අයිති රජයේ මාධ්‍ය ආයතනයකට. කොහොමද ඔබට ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ?

මං මූලික අධ්‍යාපනය ලැබුවේ ඕපනායක විද්‍යාකර මහාවිද්‍යාලයෙන්. උසස් අධ්‍යාපනය සඳහා  රත්නපුර සුමනා බාලිකාවට ඇතුළත් වුණා. එහි පාසල් ජනමාධ්‍ය සංගමයේ සභාපති වුණා. විද්‍යාකර විදුහලේ නියෝජ්‍ය විදුහල්පති  සුනිල් රාජපක්ෂ සර් ළමා නිවේදක නිවේදිකාවන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් සඳහා මගේ ඇප්ලිකේෂන් එකක් දාල තිබුණා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට. ඒ ඉන්ටවිව් එකෙන් මාව තේරුණා. ඒ වෙද්දි මං සා/පෙළ පන්තියේ. ළමා නිවේදිකාවක් විදිහට  එහි සති අන්තයේ දසත ළමා පුවත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබුණා. පිටපතක් රචනා කරන තැන ඉඳන් ප්‍රවෘත්ති හඬ කැවීම දක්වා සියලු පියවර එහිදී කියල දුන්නා. විභාග ළං වෙද්දි ගෙදර ඉඳන් ඔන් කැමරා රෙකෝඩින් එව්වා. මට මතකයි මුල්ම එක කළේ ඇහැළේපොල වලව්ව ගැන.

2012න් පස්සේ රූපවාහිනී අභ්‍යාස ආයතනයේ ටීවී ප්‍රසන්ටින් සහ ප්‍රවෘත්ති නිවේදනය පිළිබඳ කෝස් එකකට සම්බන්ධ වුණා. ටීවී ඇඩ් එකකට අනුව අයදුම් කරලා වට තුනක සම්මුඛ පරීක්ෂණයකින් සමත්වෙලා තමයි ප්‍රවෘත්ති නිවේදන අංශයට මාව තේරුණේ. ඒත් මගේ ආසාව තිබුණේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වෙන්න. මගේ කටහ‍ඬේ විශේෂත්වය නිසා විනිශ්චය මණ්ඩලයේ තේරීම වුණේ ප්‍රවෘත්ති නිවේදනයට. ඔය අතරේ විද්‍යා පීඨයට තේරුණත් මං වැඩිපුර කැමැති වුණේ මීඩියා ෆීල්ඩ් එකට. 2014 නිදහස් මාධ්‍යවේදිනියක් විදිහට ප්‍රවෘත්ති අංශයට බැඳුණු මං 2019 වෙද්දි ස්ථිර සහාය නිෂ්පාදකවරියක් වුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය හදාරලා සුදුසුකම් සපුරාගත් නිසා  විද්‍යා පීඨ ගියේ නෑ කියලා පසුතැවීමක් දැනිලා නෑ.

ඔබ ගොඩක් කැමැත්තෙන් හිටියේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වෙන්න. ඒත් දෛවය ඔබ යොමුකළේ වගකීම් සහිත තැනකට.  ඒ ගැන මොකද හිතෙන්නේ?

ඔව්. මං ගොඩක්ම ආස වුණේ වැඩසටහන් ඉදිරිපත් කරන්න. දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කරන්න තමයි වැඩිපුරම ආස. ඒත් තවමත් මට ඒ සඳහා අවස්ථාවක් ලැබුණෙ නෑ. 2010 තිබුණු පළවෙනි යොවුන්  පාර්ලිමේන්තු මැතිවරණයේ සුමන බාලිකා යෞවන සමාජය  නියෝජනය කරමින් ඉදිරිපත් වෙලා ලංකාවෙන්ම වැඩිම වෝට්ස් ගත්තෙ මං. ඒ නිසා එංගලන්තයේ ගිහින් එහි පැවැත්වුණු එංගලන්ත - ශ්‍රී ලංකා තරුණ හුවමාරු වැඩසටහනේ දී ශ්‍රී ලංකාව ගැන කතා කරන්න අවස්ථාවක් ලැබුණා.

බියංකට අමතක නැතුව ඇති මුලින්ම ප්‍රවෘත්ති නිවේදනය කරන්න රූපවාහිනී තිරය ඉදිරියේ වාඩිවුණු මොහොත?

ඔව්. ඒ 2014 මාර්තු මාසෙ දවසක්. 7.55 නිවුස් එකක් තමයි කියන්න ලැබුණේ. දේශීය පුවතක්, විදේශීය පුවතක් සහ ක්‍රීඩා පුවතක් එහි අන්තර්ගත වෙලා තිබුණා. අපිට ඒ ගැන ට්‍රේනිං එකක් දීල තිබුණත් ඒක පුදුම විදිහට ටෙන්ෂන් වුණු මොහොතක්. මගේ බුලටිං ප්‍රොඩියුසර් විදිහට හිටියේ චමින්ද ගුණරත්න අයියා. එයා තමයි ප්‍රධාන පාලක මැදිරිය එක්ක සම්බන්ධ වෙලා නිව්ස් එක ඩිලිවර් කරන්නේ. නිවුස් රූම් එකේ ඉන්න ප්‍රොඩියුසර්ස්ල නිව්ස් හදල දුන්නට නිවුස් රීඩර් එක්ක සම්බන්ධ වෙලා නිවුස් එක විකාශය කිරීමේ වගකීම තියෙන්නේ බුලටිං ප්‍රොඩියුසර්ට. මාත් අද ඒ කර්තව්‍යයේම නියැළෙන්නියක් වීම ගැන ගොඩක් සතුටුයි.

මේ වගකීම් සහිත ගමනේදි අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති?

මං මුලින්ම නිව්ස් කියන්න ගිය දවසෙ තමයි මේ සිදුවීමත් වුණේ. ඒ දවස්වල කාලගුණ වාර්තාව ඉදිරිපත් කරද්දී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සම්බන්ධ කරගන්නවා. කලින් සූදානම් කරගෙන හිටියත් මොකක් හරි තාක්ෂණික දෝෂයක් නිසා අදාළ නිලධාරිනියට එදා සම්බන්ධ වෙන්න බැරි වුණා. දැන් බුලටිං ප්‍රොඩියුසර් විදිහට හිටිය චමින්ද අයියා මට කියනවා නංගි නිලධාරිනිය සම්බන්ධ වෙන්නෙ නෑ, ඔයා ඊළඟ එකට යන්න කියලා. ඒක කාටවත් නොදැනෙන්න කොහොමහරි මට කරගන්න පුළුවන් වුණා. මං නිව්ස් එක කියලා එළියට එද්දි චමින්ද අයියා කිව්වා ඔයා ඒක ගානට බැලන්ස් කළා ගොඩක් හොඳයි නංගි කියලා. ඒ වගේ පරිණත කෙනෙක්ගෙන් ඒ වගේ වචනයක් අහන්න ලැබුණු එක මට ජීවිතේ අමතක වෙන්නෑ. ඒ වගේම මට මුලින්ම සජීවී වැඩසටහනක් ඉදිරිපත් කරන්න ලැබුණු දවසත් අමතක වෙන්නෑ. ඒක සිරි ලක සිරි අවුරුදු සිරි කියලා අවුරුදු උත්සවයක්. ආධුනිකයෙක් විදිහට එතනදි මං ගැන විශ්වාසය තියලා ලොකු රිස්ක් එකක් අරගෙන මාව ඒ සඳහා යෙදෙව්වේ නිශාන්ත උදයංග සර්. ඒක සිහිපත් කළ යුතුමයි. ඒකෙ මට පොඩි පොඩි සෙග්මන්ට් කරන්න තිබුණේ. අසේල බණ්ඩාරනායක අයියා වතුරේ  බැහැගෙන කොට්ට පොර තරගයක් නිවේදනය කරමින් හිටියේ. මාව දැක්ක ගමන් මොනාද බියංකා ගොඩක වෙලා ඉන්නේ ඔයත් එන්නකො වතුරට කිව්වා. මාත් දෙවරක් නොසිතාම ඇඳන් හිටපු ඇඳුම් පිටින්ම කර ළඟට වතුරට බැහැලා එදා ඒ වැඩසටහන ඉදිරිපත් කළා.  හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම තමයි පාස්කු ප්‍රහාරය දවසේ හදිසි බ්‍රේකිං නිව්ස් එකක් කියන්න සිද්ධ වුණේ ඒ ගැන කිසිම දැනුවත් වීමක් නැතුව, ඇඳන් ඉන්න ඇඳුමට උඩින් බ්‍රේසර් එක දාගෙන. කොහොමහරි මුළු දවසම කිසිම අවුලක් නැතුව කරගෙන ගියා. ඒ වගේ ගොඩක් අත්දැකීම් තියෙනවා.

බොහෝ දුරට ඔබට කපල් වෙන්නේ අසංක නිලඟරත්න. නිවුස් විකාශයට සහායකයාගේ සහාය කොතරම් දුරට වැදගත් වෙනවද?

ඒ සහයෝගය නම් ගොඩක්ම වැදගත් වෙනවා. සමහර විට අපි එක නිවුස් එක බෙදාගෙන කියන අවස්ථා තියෙනවා. එතනදි දෙන්නගෙ සන්නිවේදනය මත තමයි ඒක සිදුවෙන්නේ. හදිසි අපහසුතාවකදි වුණත් පාට්නර්ගේ අන්‍යෝන්‍ය බැඳීම ගොඩක් වටිනවා. බොහෝ දෙනෙක්ගේ ඒ සහාය ලැබෙනවා. අසංක අයියයි මායි නිතර එකට වැටෙන නිසා අපි අතර හොඳ අවබෝධයක් තියෙනවා. ඒක ලොකු පහසුවක්.

ඔබ විවාහකයි. භාරදූර කර්තව්‍යයක් කරද්දී ඒ සහයෝගය ගැනත් සඳහන් කරමු?

මගෙ තාත්තගේ කැමැත්ත අනුව තමයි කවදාහරි මට විවාහ වෙන්න නියම වෙලා තිබුණේ. ඒ නිසා මං කා එක්කවත් සම්බන්ධයක් ඇතිකර ගත්තෙ නෑ. එයා දිමුතු වීරකෝන් බණ්ඩාර.  ඇත්තටම කිව්වොත් සංසාරගත බැඳීමටකට ලැබුණු හස්බන්ඩ් කෙනෙක්. එයාගෙ අම්මත් කවදාවත් මට නැන්දම්මා කෙනෙක් වුණේ නෑ. එයාලගෙ සහාය නිසා තමයි අද මං මේ විදිහට හිනාවෙලා රූපවාහිනී තිරය ඉදිරියේ වගකීමක් දරන්නේ. මං යම්කිසි සාර්ථකත්වයක ඉන්නව නම් අනිවාර්යයෙන්ම ඒ එයාලගෙන් ලැබෙන සහාය නිසා.

නාමලී ගමගේ

 



 

 

 

Wednesday, April 19, 2023

 

                  ශ්‍රී වික්‍රම රාජසිංහ නූර්තිය නව මුහුණුවරකින්

ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවට රූපරාමු වේදිකාවක් රැගෙන ආ පළමු රංගන අත්දැකීම ලෙස නූර්තිය හැඳින්විය හැකිය. වෙනත් නාට්‍ය ශෛලීන්ගෙන් නූර්තිය පැහැදිලිවම වෙන්කර හඳුනාගත හැකි මූලික ලක්ෂණ අතර උත්තර භාරතීය රාගධාරී සංගීතය යොදාගැනීම, බබළන රංග වස්ත්‍ර යොදාගැනීම මෙන්ම පසුතල නිර්මාණය සඳහා චිත්‍ර වස්ත්‍ර යොදාගැනීම මූලික වේ. එමෙන්ම පසුතල නිර්මාණයේ දී විශ්මයජනක දර්ශන යොදාගනු ලබන්නේ ද ප්‍රේක්ෂකයාගේ ඇස, කන ආනන්දයෙන් පිනවා සිත මුකුලිත කර සතුටට පත්කර එමඟින් ප්‍රඥාව අවදි කිරීමේ අරමුණ පෙරදැරි කොටගෙනය.

බොහෝ ජනාදරයට පත් එවන් රසබර නූර්තියක් ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ නූර්තිය හැඳින්විය හැකිය. ක්‍රි.ව. 1906 දී නීතීඥ ජෝන් ද සිල්වා සූරීන් විසින් නිර්මාණය කළ සිංහලේ අවසාන රජු ලෙස සැලකෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වටා ගෙතුණු එම නූර්තියේ රජුගේ ගතිලක්ෂණ පිළිබඳ අතීතය පිරිස්සන් හට කුකුසක් මතුවී තිබිණි. එහි සදොස් තැන් ඇතැයි සැකයෙන් මෙරට ඉතිහාසය පිරික්සමින් ගවේෂණයක යෙදුනු වත්මන් ධර්මපාල පරපුරට එවන් තැන්  නිදොස් කරමින් එම නූර්තිය ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් මතුවිණි. එහි ප්‍රතිඵලය වූයේ ජෝන් ද සිල්වා සූරීන්ගේ මුල් කෘතිය මූලාශ්‍ර කරගනිමින් රත්නශීලා පෙරේරා විසින්  එය  නැවත අලුතින් රචනය කිරීමයි. ඇයගේම අධ්‍යක්ෂණයෙන් ධර්මපාල පරපුරේ නිෂ්පාදනයක් ලෙසින් එළිදක්වනු ලබන ශ්‍රී වික්‍රම රාජසිංහ නව නූර්තිය පෙබරවාරි 12 වැනි ඉරිදා සවස 6.00ට මරදාන ටවර් රඟහලේදී වේදිකාගත වීමට නියමිතය. එහි සැබෑ තතු හා අදහස් අප හා බෙදාගත්තේ එහි අධ්‍යක්ෂිකා රත්නශීලා පෙරේරායි.

“වත්මන් ධර්මපාල පරපුර නියෝජනය කරන පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ ආචාර්ය සේනාරත්න සිල්වා මෙරට ඉතිහාසය ගවේෂණය කර සොයා ගන්නවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගැන සමාජගත වෙලා තියෙන්නේ සත්‍ය තොරතුරු නොවන බව. රජු ගැන සඳහන්ව ඇත්තේ ඔහු බේබද්දෙක්, ස්ත්‍රී ලෝලියෙක්, විකාර මතින් තීන්දු තීරණ ගෙන ඇහැලේපොළ පවුල විනාශ කළ චරිතයක් බව. නමුත් ධර්මපාල පරපුර සොයා ගන්නවා ඒක එහෙම නොවෙයි කියලා. රජු පිටුවහල් කළ ඉංග්‍රීසි නැවේ කපිතාන් රජු මත්පැන්වලින් තොර බව ලියා තැබූ සටහන ගැන ඔවුන් සොයාගෙන තිබුණා.


ඒ වගේම එදා ඇහැලේපොළ පවුලේ ඝාතනය සිදුවෙන්නේ ඇහැලේපොළ රාජ ද්‍රෝහියකු වීමේ වරදට, පැවති රාජ්‍ය නීතිය ක්‍රියාත්මක වීම නිසායි. ඉංග්‍රීසීන්ට කත් ඇදපු ඇහැලේපොළ රට පාවා දීම වගේම පිළිමතලාවේ, මොල්ලිගොඩ වැනි නිලමේවරු කුමන්ත්‍රණය කර ඔවුන්ගේ වැරදි යටපත් කරගෙන ඒවා රජුගේ වැරැදි විදිහට පෙන්නා දී රජු පිටුවහල් කිරීමට සැලැස්වීම. එයින් සිදු වුණේ මේවා රජුගේ වැරදි ලෙස ඉස්මතු වීම.  ඔවුන් සොයාගත් කරුණු අනුව මේවා රජුගේ වැරදි නොවන බව පැහැදිලි කරමින් මට මෙය නැවත ලිවීමට අන්තර්ගත කරුණු ලබාදෙන්නේ මේ ධර්මපාල පරපුර. ඔවුන්ට තමයි ඕන වෙන්නේ මේ ශ්‍රී වික්‍රම රාජසිංහ  නැවත නඟාසිටුවන්න. ඔවුන් හිතනවා මෙය රටට ඉදිරිපත් කරන්න හොඳම ආඛ්‍යානය, ක්‍රමවේදය, ශෛලිය මේ නූර්තිය කියලා. සංගීතයෙන් සමීර සුභසිංහ, අංගරචනයෙන් චාමර රාජපක්ෂ, පසුතල නිර්මාණයෙන් කාංචන ගමගේ, රංග වස්ත්‍ර නිර්මාණයෙන් සුජීවා සිරිසේන මෙය වර්ණවත් කිරීමට දායක වුණා.

නූර්ති කලාව දැන් වියැකී යමින් තියෙන්නේ. ටවර් හෝල් රඟහලේ කාර්යභාරය තමයි මේවා රැකගන්න එක. අවසන් වරට 2000 වසරේ තමයි ජී.එච්. ස්ටැන්ලි පෙරේරා මාස්ටර් සහ වික්ටර් වික්‍රමගේ විසින් නූර්ති කිහිපයක ජවනිකා පමණක් යොදා ගෙන ද පැජන්ට් ඔෆ් ටවර් හෝල් කියලා නිර්මාණයක් කළා. ඒකටත් මම දායක වුණා. සම්පූර්ණ නූර්තියක් බොහෝ කලකින් නිර්මාණය වෙලා නෑ. විශේෂයෙන්ම පාසල්වල උගන්වන ගුරුවරුන්වත් නූර්තියක් දැකලා නෑ. ඒ නිසා ඒ පිළිබඳ ඉගැන්වීමේ දී ඔවුන් අපහසුතාවට පත්වීම සාධාරණයි. පවුලේ ආභාසය නිසා මම පොඩි කාලේ ඉඳන්ම නූර්තිවලට සම්බන්ධවෙලා තියෙනවා. ඒ වගේම ටවර් හෝල් රඟහලට වසර 100ක් පිරීම නිමිත්තෙන් ‘ටවර් හෝල් සියවස් පුරාණය‘ කියලා මම ග්‍රන්ථයක් රචනා කළා. ඒ එක්කම ‘ටවර් හෝල් සුපිරි තරු‘ කියලා එකකුත් රචනා කළා. ඒ දෙකෙන්ම මම කියන්න උත්සාහ කළේ ස්වර්ණමය ටවර් හෝල් යුගය නූර්තියෙන් වර්ණවත් වුණ හැටි. ඒකෙ සම්පූර්ණ විස්තරය දිගහැරෙනවා. හිටපු නළු නිළියන් පිරිස, කරපු නාට්‍ය, ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම ටවර් හෝල් සම්ප්‍රදායේ පාලන ක්‍රමවේදය ගැනත් සඳහන් වෙනවා. ඒ වගේම නීතීඥ චාල්ස් ඩයස් සූරීන්ගේ සිවම්මා ධනපාල නූර්තියේ ප්‍රධාන චරිතයටත් මං දායක වුණා. ඒක ලංකාවේ ජනප්‍රියම නූර්තියක්. ඒ අත්දැකීම් සමඟින් මගේ ශාස්ත්‍රවේදී උපාධිය සඳහා විෂයන් හදාරමින්, දැනුම රැස්කරමින්  ඒ ගැන ලොකු අවධානයක ඉන්න මොහොතක තමයි මට මේ සඳහා ආරාධනා ලැබෙන්නේ. 

1906 වර්ෂයේ නීතීඥ ජෝන් ද සිල්වා සූරීන් නිර්මාණය කළ ශ්‍රී වික්‍රම රාජසිංහ නූර්තිය තමයි පසුකාලීනව වරින් වර වේදිකාගත වෙන්නේ. එහි උත්තර භාරතීය රාගධාරී සංගීතයට අනුව  සැකසුණු ගීත අදටත් ජනප්‍රියත්වයේ තියෙනවා. 

‘වාසනා දිනේකි මේක, දන්න වංහුං අප, පිනවන්න සවන් ඇසුවන්ගෙ සොඳින් වගේ  ගීත අදටත් ජනප්‍රියයි. නීතීඥ ජෝන් ද සිල්වා සූරීන්ට සංගීතයෙන් සහාය වුණේ ඉන්දියාවෙන් පැමිණි විශ්වනාත් ලව්ජි නමැති බ්‍රාහ්මණ පඬිවරයා. එතුමාගේ නූර්තියේ ඒ ගී තනු යොදාගෙන නූර්ති ලක්ෂණ රැකගනිමින් මාත් මේකට අලුතින් සින්දු ලිව්වා. මේකෙ සම්පූර්ණ ගෞරවය එතුමාට හිමිවිය යුතුයි. මං සලකන විදිහට එතුමා තමයි ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ පියා. නූර්ති නාට්‍ය කලාවේ ප්‍රාරම්භකයා සීබන් බස්තියන් සූරීන් ලෙස සැලකුවත් ඔහුගේ නූර්තිවල නිශ්චිත ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඔහු කළ රොලීනා නාට්‍යයේ නාඩගම් ලක්ෂණ වගේම බටහිර නාට්‍ය ලක්ෂණත් මිශ්‍ර වෙලා තිබුණා. ඊට පස්සේ තමයි එහි අනුප්‍රාප්තිකයා විදිහට නීතීඥ ජෝන් ද සිල්වා සූරීන් නූර්තියට නියම හැඩතල දෙන්නේ.“

නාමලී ගමගේ

  



 

 ප්‍රතිභා සංගම්හි ගායන අංශයේ ජයග්‍රහණය දෙරණ ඩ්‍රීම් ස්ටාර් තනුරට

රියැලිටි කලාවෙන් බිහිවන බොහෝ තරු ඉක්මනින්ම නිවී යන බව බොහෝ දෙනාගේ මතය වුවත් දැන් දැන් බිහිවන තරු ජාත්‍යන්තරයේ අවධානය යොමු කරගැනීමට තරම් දක්ෂයන් බව නොකියාම බැහැ. ඒ අතර රාගධාරී සංගීතයෙන් බිහිවන හිමිවන්නේ විශේෂ ස්ථානයකි. අද අපේ කතාබහ රාගධාරී සංගීතයට උපන් හපන්කම් දක්වා එවන් ජයග්‍රහණයක් හිමිකර ගත් රියැලිටි තරුවක් ගැනයි. පවුල් පසුබිම ද ඔහුගේ මේ ගමන් මඟට රතු පළසක් වූ බව නම් පැහැදිලිය. කලා පවුලකින් පැවත එන ඔහු තනුර මධුගීත්ය. ඔහුගේ කරළියට පිවිසීම සිදුවන්නේ  2021 දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළේ හිමිකරුවා වීමත් සමඟිනි.

 මොකක්ද තනුර මේ ඔබේ ජාත්‍යන්තර ජයග්‍රහණය?

මේක සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දියානූ කවුන්සලය මඟින් ප්‍රථම වරට සංවිධානය කළ තරගාවලියක්. ඒක නම් කරලා තිබුණේ ‘ප්‍රතිභා සංගම්‘ කියලා. ගායන, වාදන, නර්තන යන අංශ තුනෙන්ම තරග වදින්න අවස්ථාව තිබුණා.  ගායනයෙන් හින්දුස්ථානී, කර්ණාඨක අංශ, නර්තනයෙන් භරත නාට්‍යම්, කථක්, ඔඩිසි අංශ වගේම වාදනයෙන් තබ්ලා, බටනළා, නාදස්වරම්  යන  අංශවලින් තරග වදින්න තිබුණේ. ගායන අංශයේ හින්දුස්ථානී සහ කර්ණාඨක කියන අංශ දෙකෙන් හින්දුස්ථානී කියන අංශයේ පළමු ස්ථානය මට ලැබුණා.

තරගාවලිය සඳහා සහභාගී වීමට ඔබ ඉන්දියාවට ගියා ද?

නැහැ. මේක සම්පූර්ණයෙන් ම ඔන්ලයින් විදිහට පැවැත්වුණේ. අපේ අංගය ස්ටුඩියෝ එකක, විනාඩි දහයක වීඩියෝ එකක් විදිහට කරලා එයාලගෙ වෙබ් සයිට් එකකට අප්ලෝඩ් කරන්න තිබුණේ. තරගකරුවන් අවුරුදු 35ට අඩු වෙන්න ඕන. ජයග්‍රාහකයන්ට ඉන්දියානූ සංචාරයකට සහභාගී විමේ අවස්ථාව ලැබෙනවා. ගිය අවුරුද්දේ මැද හරියේ තමයි මේ තරගාවලිය තිබුණේ.  ගිය අවුරුද්දේ නොවැම්බර් තමයි ජයග්‍රහණය ගැන නිල වශයෙන් මට දැනුම් දුන්නේ.

ඔබට හිමිවුණේ ජාත්‍යන්තර ජයග්‍රහණයක්නේ. ඒ සම්මානය ගැනත් කියමු නේද?

මේකෙ සම්මානයක්ම නොවෙයි. විශේෂ වරප්‍රසාදයක්. දවස් 21ක ඉන්දියානූ සංචාරයක්. එහි විශේෂත්වය තමයි ඒ සංචාරයේ ද අපිට එයාල නියම කරන විශේෂාංග ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබෙනවා.

ඔබ සහභාගි වුණු ඉන්දියානු සංචාරය ගැන සඳහන් කළොත්?

දෙසැම්බර් 26 වැනිදා ගිහින් ජනවාරි 15 වැනිදා තමයි නැවත ආවේ. දින 21ක සංචාරයක් ඒක. තරගාවලියේ ජයග්‍රාහකයන් 14 දෙනෙක් සඳහා සංවිධානය කරලා තිබුණත් 8 දෙනෙක් විතරයි සහභාගී වෙලා තිබුණේ. මැලේෂියා, මොරිසස්, ජපානය වගේම ඉන්දියාවෙනුත් 3 දෙනෙක් සහභාගී වුණා. සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දියානූ කවුන්සලයෙන් තමයි සියලු වගකීම් දැරුවේ. සංදර්ශන 10ක් සංවිධානය කරලා තිබුණා.  දිල්ලි, චෙන්නායි, ඉන්ඩෝර්, පූනෙයි කියන නගරවල. එහි තිබෙන සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දියානු කවුන්සලයේ ශාඛාවලින් තමයි ඒවා සංවිධානය කරලා තිබුණේ. එයාලා නියම කරන ෆපෝමන්ස්  හැම ස්ටයිල් එකක්ම වගේ හයිලයිට් වෙන විදිහට නර්තනයත් එක්ක ඉදිරිපත් කරන්න ඕන. මම තමයි එතන හිටිය එකම ගායකයා. මට සෝලෝ අයිටම්ස් 4කට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා.

තනුර ක්ෂේත්‍රයට එන්නේ රියැලිටි වැඩසටහනකින් නේද?

ඔව්. 2019 දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළ හිමිවෙන්නේ මට.  ඊට පස්සේ තමයි ක්ෂේත්‍රයට කෙළින්ම සම්බන්ධ වෙන්නේ. නමුත් ඊට කලින් මං දෙරණ ලිට්ල් ස්ටාර් තරගාවලියේ  3 වැනි ස්ථානය දිනාගත්තා. ඒ 2009 වසරේ.

ඔබ ගොඩනැඟෙන්නේ කලා පවුලකින්. ඔබේ පියාත් ජනප්‍රිය ගායකයෙන් වගේම වාදකයෙක්. ඒ ගැනත් මතක් කරමු ද?

ඔව්. මගේ තාත්තා ජයන්ත දිසානායක. ඔහු දක්ෂ සෙක්සෆෝන් වාදන ශිල්පියෙක් වගේම ගායකයෙක්. කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකාවේ වගේම කොළඹ නාලන්දා විද්‍යාලයේත් සංගීත ගුරුවරයෙක්. ඔහුගේ ‘සදාදර නයෝ ඔබේ මංගල දිනේ‘ කියන ගීතය 90 දශකයේ ගොඩක් ජනප්‍රිය වුණු ගීතයක්. 

තනුරගෙ අලුත් නිර්මාණ ගැන සඳහන් කළොත්?

ලතා වල්පොල මහත්මියත් එක්ක ගීතයක් කළා. ඒකෙ ඕඩියෝ එක දැනට අවසන්. වීඩියෝ එක ප්ලෑන් කරමින් ඉන්නේ. ඉතාම ඉක්මනින් ඒක එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

මොනවද ඉදිරි බලාපොරොත්තු?

දැනට මං සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ සිසුවෙක්. අධ්‍යාපන කටයුතු කරගෙන යන ගමන් මල්ලිත් එක්ක එකතු වෙලා අලුත් සංගීත කණ්ඩායමක් හැදුවා. සාමාජිකයන් 7 දෙනෙක් ඉන්නවා. මල්ලියි, මමයි, තාත්තයි තුන්දෙනාම ඒකේ සාමාජිකයන්. මගේ මල්ලිත් දෙරණ ලිට්ල් ස්ටාර් ජයග්‍රාහකයෙක්.  මම බේස් ගිටාර් වාදනයත් එක්ක ගායනය. මල්ලි කීබෝඩ් වාදනයත් එක්ක ගායනය. ඒ වගේම තාත්තා සෙක්සෆෝන් වාදනයත් එක්ක ගායනය. ඉතාම ඉක්මනින් අපේ සංගීත කණ්ඩායමේ  එළිදැක්වීම සිදුවේවි. මෙහේ මගේ ඩිග්‍රිය ඉවර වුණ ගමන් වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට යෑමේ බලාපොරොත්තුවත් තියෙනවා.

 නාමලී ගමගේ

 


 

 

 

 

 

            ශ්‍රී ලංකා -ඉන්දීය කලාපීය මිතුදමට සේතුවක් සේ පිදෙන                                      DRDගේ  ‘සංජීවනී ලේ ආ රේ‘   එකම ලේ ධාතු...