Friday, February 24, 2023

 

මිත්‍රත්වය උදෙසා බොහෝ කැපකිරීම් කරන ඉස්කෝලේ දුලාන්

භාග හඳ පායා ආපු දාට

බට ලී ගී ගයන රෑක

කඩුපුල් මල් හොරෙන් ඇහැරනා

ඇස් අස්සෙන් සොකරි නටවනා

ඇස් අස්සෙන් සොකරි නටවනා

සතියේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන ඉස්කෝලේ ටෙලි නාට්‍යයට නිර්මාණය කළ මේ ගීතය මේ දිනවල ජනප්‍රියත්වයේ ඉහළින්ම වැජඹෙන ගීතයක්. එහි ළයාන්විත ගායනය නිසල් සත්සරගේයි. ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ දුලාන්ගේ චරිතයට පණ පොවමින් රංගනයට පිවිසෙන ඔහු කලාව හඳුනාගන්නේ ගායකයකු ලෙසින්. ගායනයට වගේම රංගනයටත් එක සේ දස්කම් දක්වන ඔහු සමඟයි අද අපේ කතාබහ.

නිසල් කියනවට වඩා දුලාන් කිවුවම නේද ගොඩක් අය ඔබව දන්නේ?

ඇත්තටම ඔව්. ඒක නම් පුදුම හැඟීමක්. මට කියන්න වචන එන්නෙත් නෑ. ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන මේ ආදරය. ඒක පුදුම සතුටක්. ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ දුලාන්ට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

දුලාන්, අනගි කියන්නේ එකම පන්තියේ හොඳම යාළුවෝ වුණත් දැනෙන නොදැනෙන තරමේ  ආදරයකුත් එතන තියෙනවා. පාසල් ප්‍රේමයට කැමැති ප්‍රේක්ෂකයොත් ඉන්නවා. අකමැති අයත් ඉන්නවා. කොහොමද ලැබෙන  ප්‍රතිචාර?

පාසල් ප්‍රේමයත් බොහෝ දෙනෙක් අතරේ තියෙන දෙයක්. ඒක ඉතින් එක එක්කෙනා දකින විදිහ තමයි වෙනස්. මේ නාට්‍යයේ එහෙම ලොකුවටම ප්‍රේමයක් අඟවන්නෙ නැති නිසා බැණලා ප්‍රතිචාර ලැබිලා නම් නැහැ. හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර තමයි  දැනට ලැබිලා තියෙන්නේ.

ඔබ ක්ෂේත්‍රයට එන්නේ රියැලිටි සංගීත වැඩසටහනක් ඔස්සේ. ඒත් දැන් ඔබ ජනප්‍රිය වෙලා ඉන්නේ රංගන ශිල්පියෙක් විදිහට. කොහොම ද ඒක සිද්ධ වෙන්නේ?

ඔව්. මං දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 9ට තමයි සම්බන්ධ වුණේ. ඊටත් කලින් මං උසස් පෙළ කරද්දි අම්මා අයදුම්පත්‍රයක් දාලා තිබුණා. ඒත් උසස් පෙළ විභාග වැඩත් එක්ක මට හිතුණා දෙකක්


කරගන්න බැරි වේවි කියලා. ඒ නිසා සම්බන්ධ වෙන්න බැරි වුණා. ඊට පස්සේ උසස් පෙළ ඉවර වෙලා ඩ්‍රිම්ස්ටාර් සීසන් 9ට සම්බන්ධ වුණා. මගේ තාත්තත් සංගීතයට සම්බන්ධ කෙනෙක්. එයාගෙන් ලොකු සහායක් ලැබුණා. ගොඩක් දුර ආවා. ඒක ඉවර වෙනවත් එක්කම තමයි මට ඉස්කෝලේ නාට්‍ය එක්ක සම්බන්ධ වෙන්න  ලැබුණේ. රාධිකා ක්‍රිෂාන්ති අක්කාගේ මාර්ගයෙන් තමයි ඒ අවස්ථාව ලැබුණේ. එයා මට කිව්වා අලුත් නාට්‍යයකට ළමයි 5 දෙනෙක් හොයනවා. ඔයත් ගිහින් බලන්න කියලා. ඒකෙන් මං තේරුණා. රංගනය කියන්නේ මගේ හිතකවත් තිබුණෙ නැති දෙයක්. ඒත් දැන් මට හිතෙනවා ඒක මගේ වාසනාවකට ලැබුණු දෙයක් කියලා. ඊට පස්සේ පෝය නාට්‍ය කීපයකටත් සම්බන්ධ වුණා.

ගායකයෙක් වෙන්න ආව නිසල් රංගන ශිල්පියෙක් වෙලායි නවතින්නේ. මුලින්ම කැමරාවට මුහුණ දෙද්දි කොහොම ද ඒ අත්දැකීම?

ඒක නම් අමතක වෙන්නෑ. මුලින්ම තිබුණේ අනගිව බයිසිකලේ තියාගෙන යන සීන් එකක්. කවදාවත් කරපු නැති දෙයක් නිසා සමහර තැන්වලදී ලොක් වුණා. ඩයලොග් කියවුණෙත් නෑ. එහෙම අසරණ වුණ අවස්ථාත් තිබුණා. පස්සෙ පස්සෙ හරි ගියා. මං රංගනය ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ. අඩුම ගානේ ස්කෝලේ යන කාලේවත් කිසිම දෙයකට සම්බන්ධ වෙලා තිබුණේ නෑ. මුලින්ම ස්ක්‍රීන් ටෙස්ට් එකක් තිබුණා. පස්සේ රියර්සල් තිබුණේ. ඉස්කෝලේ අධ්‍යක්ෂ දිලූක ගුණතිලක අයියා ඇතුළු කණ්ඩායම ලොකු සහායක් දුන්නා. ඒක මගේ පළවෙනි රංගන අත්දැකීම. පළවෙනි එකේදිම හමුවුණු කණ්ඩායම හරිම හොඳයි. ඒ වගේම ලක්සිරි සර් අපිව වර්ක් ෂොප්වලට සම්බන්ධ කළා. ප්‍රවීණයන්ගෙනුත් ලොකු සහායක් ලැබුණා. මේක මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා නිතරම මගේ චරිතය හොඳින් ගොඩනඟාගන්න එයාලා ලොකු සහායක් දුන්නා.  

නිසල් සත්සර ඇතුළෙ ඉන්න ගායකයාට ද රංගන ශිල්පියාට ද ඔබ වැඩිපුර කැමති?

මං පොඩි කාලෙ ඉඳන්ම සංගීතයටයි ගොඩක් ආස කළේ. රංගනය මට අහම්බෙන් ලැබුණු දෙයක්. දෙකටම එක සමානව ප්‍රතිචාර ලැබෙනවා. ඒත් මං පෞද්ගලිකව වඩාත් කැමති ගායකයාට. ඉදිරියේ දී දෙකම සමබරව කරන් යන්න උත්සාහ කරනවා.

දුලාන්ගෙ වැඩේ අනගි පස්සෙන්ම ඉඳන් අනගිව ආරක්ෂා කරන එකනේ. නිසල්ටත් ඉන්නව ද ඒ වගේ කෙනෙක්?

නැහැ. මං හිතන්නේ ආදරය මට දැම්ම ඕන නෑ. ඒකට ඉස්සරහට කාලයක් ඒවි. ඒකට මේ කාලෙ නෙවෙයි කියලා මං හිතනවා.

නිසල් ඉදිරියේ දී නව නිර්මාණවලින් දැකගන්න ලැබේවිද? මොනවද ඉදිරි සැලසුම්?

දැනට මං ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 4 වැනි වසරේ සිසුවෙක්. ඉස්කෝලේ නාට්‍යයේ කටයුතුයි විශ්වවිද්‍යාල කටයුතුයි එක්ක අලුත් වැඩකට අතගහන්න අමාරුයි. දැනට මගේ සින්දු තුනක් කරලා තියෙනවා. ඉස්කෝලේ නාට්‍යයේ සින්දු දෙකයි ශෘංගාරේ කියන මගේම සින්දුවයි දැනට රිලීස් වෙලා තියෙනවා. ඉස්කෝලේ  සඳහා නිර්මාණය වුණු ‘ඇස් අස්සෙන් සොකරි නටවනා‘ ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. අදටත් ඒ ජනප්‍රියත්වය නොවෙනස්ව තියෙනවා. ඩිග්රියේ වැඩකටයුතු කරගෙන අනිවාර්යයෙන් ඉදිරියේ දී නව නිර්මාණ කිහිපයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

නාමලී ගමගේ

 



 

 

                 රදළ මනසින් ගාඩි රැහැට පිටමං කළ ටිකිරි

 


ජාත්‍යන්තර සිනමා උලෙළ රැසක් නියෝජනය කරමින් සම්මානයට පාත්‍ර වුණු ගාඩි සිනමාපටය ජාත්‍යන්තර සම්මානලාභී අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේගේ නිර්මාණයකි. 1815 ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට පත්වීමට පෙර කාල වකවානුව පාදක කොට ගෙන නිමැවුණු මෙම සිනමාපටයෙන් වර්ණය, කුල භේදය ආදරයට කිසිම බාධාවක් නොවන පණිවුඩය දීමට උත්සාහ කර ඇත්තේ මනුස්සත්වය අගය කරමිනි. ටිකිරිගේ චරිතය මෙහි සාර්ථකත්වයට ඍජුවම බලපා ඇති බව විචාරක පැසසුම්වලින් මොනවට කියාපායි. තම මුල්ම සිනමා අත්දැකීම ලෙසින් ටිකිරිට පණ දෙන ඇය ඩිනාරා පුංචිහේවායි.   මේ ඇය හා කළ කතාබහයි.

 

ගාඩි මේ දිනවල සාර්ථක අන්දමින් ප්‍රදර්ශනය වන සිනමාපටයක්. කොහොමද ටිකිරිට ලැබෙන ප්‍රතිචාර?

ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මටත් විශ්වාස කරන්න බෑ. ඒක නම් පුදුමයි. චූටි කාලෙ හීනයක් ඉෂ්ට වුණා වගේ හැඟීමක් දැනෙන්නේ. ප්‍රසන්න සර් වගේ අධ්‍යක්ෂවරයෙක් යටතේ මට මේ අවස්ථාව ලැබීම ලොකු සතුටක්. සමාජ මාධ්‍යවලින් ලැබෙන ප්‍රතිචාරවලින් හිතෙනවා මං සාර්ථකයි කියලා. ගොඩක් වෙලාවට අපි නොහිතපු තැන් තමයි ප්‍රේක්ෂකයාට දැනිලා තියෙන්නේ. රූගත කරද්දිවත් අපට දැනුණෙ නැති තැන් ගැන ප්‍රේක්ෂකයන් කතා කරනවා. ප්‍රතිචාර දක්වනවා. සති අන්තයේ සිනමාශාලා හවුස්ෆුල් ලේබලයෙන් දුවනවා. ලොකු සතුටක් දැනෙනවා.

ටිකිරි කියන්නේ මොන වගේ චරිතයක් ද?

ටිකිරි කියන්නේ රදළ පවුලක බාල වියේ කාන්තාවක්. එදා රාජ නීතියට අනුව ඇගේ සැමියාගේ අතින් වන අඩුපාඩුවක් නිසා නීතියට අනුව එයාට දඬුවමක් ලැබෙනවා. ඒක නොකළ නිසා එයා රොඩී කුලයට පාවා දෙනවා. ඒක තමයි මේ කතාවෙන් කියවෙන්නේ. උසස් රදළ පැලැන්තිය වගේම පහත් රොඩී කුලයත් නියෝජනය කරන්න ටිකිරි හරහා අවස්ථාව ලැබුණා. මේක ඓතිහාසික කතාවක් වුණත් ආදරය තමයි තේමාව වුණේ. අවසානයේ මනුස්සකම කියන එක තමයි දැනෙන්න දුන්නේ.

ටිකිරි කියන්නේ අභියෝගාත්මක චරිතයක්. ඔබේ මුල්ම අත්දැකීම විදිහට චරිතය සාර්ථක කරගන්න කොහොමද සූදානම් වුණේ?

අපි මාස 6ක් 8ක් වගේ පුහුණුවීම් කළා. වැඩමුළුවලට සහභාගී වුණා. සබරගමු නැටුම් පවා මට ඉගෙන ගන්න වුණා. මං නැටුම් ගැන දැනන් හිටියෙත් නෑ. පොත් කියෙව්වා. චිත්‍රපට බලන්න දුන්නා. ප්‍රසන්න සර් වුණත් ලොකු රිසර්ච් එකක් කරලා තිබුණා. අවුරුදු 30 ක විතර වෙලේ ඉඳන් තමයි මේක කරන්න ඉඳලා තියෙන්නේ. ඒ කාලේ ජැක්සන් ඇන්තනී සර් සහ ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය යොදාගෙන තමයි කරන්න ඉඳලා තියෙන්නේ. මේ වගේ දැවැන්ත නිර්මාණයක මේ වගේ චරිතයක් කරන්න ලැබුණ එක ගැන මං ගොඩක් සතුටු වෙනවා.

රොඩී කුලය ගැන සාමාන්‍යයෙන් අත්දැකීම් අඩුයිනේ. ඩිනාරා කොහොමද ඒ ගැන අධ්‍යයනය කළේ?

ඔව්. අපි ස්කෝලෙ යන කාලේ රොඩී කියලා කොටසක් හිටියා කියලා දන්නවා වුණාට එයාලා ගැන එච්චර ගැඹුරට  දැනන් හිටියෙ නෑනෙ. මේ චිත්‍රපටය තුළ තමයි මටත් දැනගන්න ලැබුණෙ මෙච්චරට මෙහෙම ඉතිහාසයක් අපට තිබිලා තියෙනවා කියලා. මටත් ලැජ්ජයි, දුකයි ඒ ගැන නොදැන හිටිය එක ගැන. එදා තිබුණ සමාජ ගැටලුම අදටත් අදාළයි. අදත් සමහර පැතිවල කුල ක්‍රමය තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව කියන්නේ කුලය ඉහළින්ම සලකන රටක්. එහිදී මේ චිත්‍රපටයට ඉහළම ප්‍රතිචාර ලැබුණා.

ප්‍රවීණ ජාත්‍යන්තර සම්මානලාභී අධ්‍යක්ෂවරයෙක් යටතේ මංගල සිනමා අත්දැකීම ලබාගන්න හැකිවීම කොහොමද දැනුණේ?

ප්‍රසන්න විතානගේ කියන්නේ ඉතාම සුහදශීලී විනය ගරුක අධ්‍යක්ෂවරයෙක්. බිංදුවෙන් බිංදුවට හැම දේ ගැනම සැලකිලිමත්. අපේ මුහුණේ, ඇස්වල පුංචි ඉරියව්ව පවා හොඳින් ග්‍රහණය කරගන්නවා. හරිම විනයගරුක විදිහටයි රූගත කිරීම් කළේ. සිනමාව, කැමරාව ගැන මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හැමෝගෙම හීනයක් මේ අධ්‍යක්ෂවරයා එක්ක වැඩ කරන එක. මට මේ ලැබුණ අවස්ථාව මගේ වාසනාවක්. මේකෙන් පස්සේ මට තවත් චිත්‍රපට 4කට විතර සම්බන්ධ වෙන්න ලැබුණා. විදෙස් ටෙලි චිත්‍රපටයකටත් දායක වුණා.

 

ඔබේ මුල්ම රංගනයට මේතරම් ප්‍රතිචාර, විශේෂයෙන්ම විචාරක පැසසුම් ලැබෙද්දී කොහොම ද ඒක දැනුණේ?

ඇත්තටම වචනවලින් කියන්න බැරි තරම් සතුටක් ඒක. මම චරිතය තුළ ජීවත් වුණා. මම ඒ චරිතයට සාධාරණය ඉෂ්ට කළා කියලා මට හිතෙනවා. දැන් තියෙන්නේ ප්‍රේක්ෂකයන් අතේ. ඔවුන් හිතනවා නම් මං ඒක හොඳට කළා කියලා ඒකෙ ගෞරවය හිමිවෙන්න ඕන ප්‍රසන්න සර්ටයි සජිතටයි. මොකද අපි තුන්දෙනා තමයි මේ ගමන එකටම ආවේ. සජිතත් විජය කියන චරිතය තුළ ජීවත් වුණා. ඔහුගෙන් විශාල සහායක් ලැබුණා.

ගාඩි ගොඩක් විදෙස් සිනමා උලෙළවල් නියෝජනය කරලා සම්මාන ලැබුවා. කොවිඩ් තත්ත්වයත් එක්ක ආරාධනා ලැබුණු ගොඩක් සම්මාන උලෙළවල් නියෝජනය කරන්න අපිට බැරි වුණා.

 

ඩිනාරාගේ සැමියා ලොවක් හඳුනන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණිගේ පුතා. කොහොමද ඒ හමුවීම?

මගේ සැමියා සංජය වෙත්තමුණි. එයා ෆයිලට් කෙනෙක්. යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි අපි හමුවුණේ. මට චූටි කාලේ තිබුණේ රංගන ශිල්පිනියක් වීමේ හීනය. ඒ වගේම සංජයටත් චූටි කාලේ ඉඳන්ම තිබුණ හීනයක් තමයි ෆයිලට් කෙනෙක් වෙන එක. ඒ වෙනුවෙන් එයා ඩිග්රිය කළා. දැන් ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ ගුවන් කපිතාන් කෙනෙක්. දැන් අපි දෙන්නගෙම හීන හැබෑවෙලා ඉවරයි.  අපි දෙන්න අතරේ ලොකු අවබෝධයක් තියෙනවා. රැකියාවන් ගැන වුණත් එහෙමයි. එයා මගේ ගමනට ලොකු සහායක් දෙනවා. එයාගේ පවුලේ අයත් කලාවට ගොඩක් කැමතියි. එයාලගෙනුත් ලොකු සහායක් ලැබෙනවා. මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න තමයි මගේ වැඩි කැමැත්ත.

 

නාමලී ගමගේ

  

 



Saturday, February 18, 2023

කවුරුත් හොයන ඉස්කෝලේ පුංචි කෙල්ල සඳලි

                                ඉස්කෝලේ කටකාර කෙල්ල සඳලි

වාසනාව කොහේ සැඟවී තිබුණත් කවදා කුමන මොහොතේ හෝ මතු වේ. ලෂිනි කියන්නේත් එසේ වාසනාව සැඟව තිබුණු තරුණියක්. ආකර්ෂණීය රූසපුවකට හිමිකම් කියන ඇය නවක රංගන ශිල්පිනියක්. ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ සඳලි ලෙසින් රඟන ඇය බොහෝ දෙනාගේ අවධානය දිනාගන්නේ නම් චූලාගේ නෑනා ලෙසින්. මේ සොඳුරු කතාබහ ඇය සමඟිනි.

බොහෝ දෙනා ඔබේ නම දන්නෙ නෑ නේද?

ඇත්තටම ඔව්. මගේ නම ලෂිනි යෂානි බණ්ඩාර. කවුරුත් ඒක වරද්දනවා. ගොඩක් අය මට සඳලි කියලා කතා කරන්නේ. ඊටත් වඩා දන්නෙ චූලගේ නෑනා විදිහට. ඒ ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ චරිතය. ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ලෂිනි කලාව හඳුනගන්නෙම මේ ඉස්කෝලේ නාට්‍ය හරහා ද?

නැහැ. මේක මගේ දෙවැනි නිර්මාණය. මුලින්ම මං සම්බන්ධ වුණේ ‘ඒ හීනේ‘ කියන නිර්මාණයට. ඒක සීමිත කොටස් ගණනකින් සමන්විත වුණු ටෙලි නාට්‍යයක්. ඒකෙ අරුන්දිගේ යාළුවගේ චරිතයට හිටියේ. ඇත්තටම මම රංගනය කියන පැත්ත ඒතරම් දන්නෙ නෑ. මං ස්කෝලෙ යන කාලෙවත් කිසිම නාට්‍යයක රඟපාලා තිබුණෙ නෑ. මං හරි ලැජ්ජයි ළමයි ඉස්සරහ රඟපාන්න. රංගනය කියන්නේ මට අහම්බෙන් ලැබුණු වාසනාවක්.

2020 හිරු අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා අවසන් 12 දෙනා අතරට එන්න හැකියාව ලැබෙනවා. ඒකත් අමාලි කියන අක්කගේ කරදරේටයි ඉල්ලුම් කළේ. මගේ අප්පච්චිත් ලොකු සහායක් දුන්නා ඒකට. එයත් හරි ආස වුණා මං ඒකට යනවට. අප්පච්චිම තමයි තරගයට අවශ්‍ය ඔක්කොම ලේස්ති කරලා දුන්නෙත්. තරගයේ අවසන් වටයට සියල්ල සූදානම් වෙලා තියෙද්දි තමයි කොරෝනා තත්ත්වය ඇති වුණේ. ඒ නිසා ඒක එහෙමම නතර වුණා. ඒ වෙද්දි අපි පුහුණුවීම් කරලා, ඇඳුම් ඔක්කොමත් සූදානම් කරගෙන තිබුණේ. ඊට පස්සේ 2021 වසරේ නැවතත් මං අයි.ටී.එන්. අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙනවා. ඒකෙනුත් අවසන් 12 දෙනා අතරට එන්න හැකියාව ලැබෙනවා. එතනදි තමයි යම්තාක් දුරකට හරි කලාව එක්ක සම්බන්ධකමක් ගොඩනැඟෙන්නේ.

ඔය අතරේ ඉස්කෝලේ නිෂ්පාදනය කරන යුකී ෆිල්ම් එකේ අමිල කියලා මගේ කසින් කෙනෙක් තමයි කිව්වේ මේ වගේ ස්ක්‍රීන් ටෙස්ට් වගයක් තියෙනවා. ගිහින් බලන්න කියලා. ඒකෙදි මං මුලින්ම තේරුණේ ‘ඒ හීනේ ‘ නාට්‍යයට. එතන තමයි මගේ ආරම්භය. ඊට පස්සේ තමයි ඉස්කෝලේ එක්ක සම්බන්ධ වුණේ.

‘ඒ හීනේ‘ වගේ ඔබටත් හීනයක් තිබුණ ද  කවදාහරි රංගන ශිල්පිනියක් වෙනව කියලා?

කවදාවත් නෑ. මේ මං හීනෙකින්වත් නොහිතුව පැත්තක්. මං ඉගෙන ගත්තෙ නැටුම්. උසස් පෙළ කළේ වාණිජවලින්. මගේ අප්පච්චිට ලොකු ඕනකමක් තිබුණා මාව ලෝයර් කෙනෙක් කරන්න. මාත් උත්සාහ කළා අප්පච්චිගේ ඒ හීනේ සැබෑ කරන්න. ඒත් මට බැරි වුණා. ඊට පස්සේ මං බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රිය කරන්න පටන් ගත්තා. කොරෝනා නිසා ඒකත් අතරමඟ නතර වුණා. දැන් ආයිම ඒක පටන් ගත්තා. ඉස්කෝලේ නාට්‍ය කණ්ඩායම නවක ශිල්පිනියක් විදිහට මට ලොකු සහායක් දෙනවා. එයාලා ඔක්කොම හරිම හොඳයි. හරිම එකමුතුයි. ඔක්කොම එකතු වුණාම හරිම විනෝදයි. මං හරිම ආසයි ෂූටින් තියෙන දවසට.

රංගන ශිල්පිනියක් විදිහට ලෂිනිට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

අම්මයි අප්පච්චියි මට ලොකු සහායක් දෙනවා. එයාලා හරි ආසයි මං රඟපානවට. ඒ දෙන්නා ගෙට එන්නෙම අද ඔයා ඉන්නවද කියලා අහගෙනමයි. මං ඉතින් යූටියුබ් එකෙන් කලින් බලනවා. කොටට ඇඳින්න එපා, කොණ්ඩා කපන්න එපා කියලා අප්පච්චි මට කිසිම නීතියක් දාල නෑ. ඕනම පැෂන් එකක් කරන්න නිදහස දීලා තියෙන්නේ. එයා නිතරම කියන්නේ ඔය තරුණ වයස ආයෙ එන්නෙ නෑ. ඒ නිසා ඕනම පැෂන් එකක් කරන්න කියලා. මං තමා කරන්නේ නැත්තේ. ඒත රෑ වෙලා ගමන් බිමන් යන එක නම් තහනම්.

ආදරය ගැනත් අත්දැකීම්  ඇති?

දැනට මං ආදරවන්තියක් නෙවෙයි.  ගෙදරින් මට ආදරයට තහනමක් දාලා නෑ. ඒත් එයාලා කියන්නේ තව ටිකක් ඉන්න කියලා. ආදරය ගැන පුංචිම පුංචි අත්දැකීමක් විතරයි තියෙන්නේ. ඉතාම කෙටි කාලෙක ඇසුරක්. එයා මට ගැළපෙන්නෑ කියලා හිතුණා. ගෙදරිනුත් අකමැති වුණා. ඒ නිසා ඒක නතර වුණා.

ඔයාට ගැළපෙනවා කියලා බලාපොරොත්තු වෙන්නේ මොන වගේ කෙනෙක් ද?

මං බලන ප්‍රධානම දේ තමයි එයා මට ඇත්තටම ආදරේ කරන්න ඕන. කෙයාරින් කියන එක තමයි මං ගොඩක්ම බලන්නේ. කොහේහරි ගියත්, ලෙඩක් දුකක් හැදුණත් හොයලා බලනවා නම් ඒක තමයි මට ඕන. එයා ටොෆියක් දුන්නත් මට ඒක මාර හැපී. මොකද එයානෙ ඒක දුන්නේ. ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ. රූපෙ තියෙන්න ඕන. ඒත් මහා ලොකු ලස්සනක් නොවෙයි. කළු ද සුදු ද කියන එකත් මට අදාළ නෑ. මගෙ හිතට හරියන්නයි ඕන.

 

නාමලී ගමගේ



            ශ්‍රී ලංකා -ඉන්දීය කලාපීය මිතුදමට සේතුවක් සේ පිදෙන                                      DRDගේ  ‘සංජීවනී ලේ ආ රේ‘   එකම ලේ ධාතු...