Saturday, February 18, 2023

කවුරුත් හොයන ඉස්කෝලේ පුංචි කෙල්ල සඳලි

                                ඉස්කෝලේ කටකාර කෙල්ල සඳලි

වාසනාව කොහේ සැඟවී තිබුණත් කවදා කුමන මොහොතේ හෝ මතු වේ. ලෂිනි කියන්නේත් එසේ වාසනාව සැඟව තිබුණු තරුණියක්. ආකර්ෂණීය රූසපුවකට හිමිකම් කියන ඇය නවක රංගන ශිල්පිනියක්. ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ සඳලි ලෙසින් රඟන ඇය බොහෝ දෙනාගේ අවධානය දිනාගන්නේ නම් චූලාගේ නෑනා ලෙසින්. මේ සොඳුරු කතාබහ ඇය සමඟිනි.

බොහෝ දෙනා ඔබේ නම දන්නෙ නෑ නේද?

ඇත්තටම ඔව්. මගේ නම ලෂිනි යෂානි බණ්ඩාර. කවුරුත් ඒක වරද්දනවා. ගොඩක් අය මට සඳලි කියලා කතා කරන්නේ. ඊටත් වඩා දන්නෙ චූලගේ නෑනා විදිහට. ඒ ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ චරිතය. ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ලෂිනි කලාව හඳුනගන්නෙම මේ ඉස්කෝලේ නාට්‍ය හරහා ද?

නැහැ. මේක මගේ දෙවැනි නිර්මාණය. මුලින්ම මං සම්බන්ධ වුණේ ‘ඒ හීනේ‘ කියන නිර්මාණයට. ඒක සීමිත කොටස් ගණනකින් සමන්විත වුණු ටෙලි නාට්‍යයක්. ඒකෙ අරුන්දිගේ යාළුවගේ චරිතයට හිටියේ. ඇත්තටම මම රංගනය කියන පැත්ත ඒතරම් දන්නෙ නෑ. මං ස්කෝලෙ යන කාලෙවත් කිසිම නාට්‍යයක රඟපාලා තිබුණෙ නෑ. මං හරි ලැජ්ජයි ළමයි ඉස්සරහ රඟපාන්න. රංගනය කියන්නේ මට අහම්බෙන් ලැබුණු වාසනාවක්.

2020 හිරු අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා අවසන් 12 දෙනා අතරට එන්න හැකියාව ලැබෙනවා. ඒකත් අමාලි කියන අක්කගේ කරදරේටයි ඉල්ලුම් කළේ. මගේ අප්පච්චිත් ලොකු සහායක් දුන්නා ඒකට. එයත් හරි ආස වුණා මං ඒකට යනවට. අප්පච්චිම තමයි තරගයට අවශ්‍ය ඔක්කොම ලේස්ති කරලා දුන්නෙත්. තරගයේ අවසන් වටයට සියල්ල සූදානම් වෙලා තියෙද්දි තමයි කොරෝනා තත්ත්වය ඇති වුණේ. ඒ නිසා ඒක එහෙමම නතර වුණා. ඒ වෙද්දි අපි පුහුණුවීම් කරලා, ඇඳුම් ඔක්කොමත් සූදානම් කරගෙන තිබුණේ. ඊට පස්සේ 2021 වසරේ නැවතත් මං අයි.ටී.එන්. අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙනවා. ඒකෙනුත් අවසන් 12 දෙනා අතරට එන්න හැකියාව ලැබෙනවා. එතනදි තමයි යම්තාක් දුරකට හරි කලාව එක්ක සම්බන්ධකමක් ගොඩනැඟෙන්නේ.

ඔය අතරේ ඉස්කෝලේ නිෂ්පාදනය කරන යුකී ෆිල්ම් එකේ අමිල කියලා මගේ කසින් කෙනෙක් තමයි කිව්වේ මේ වගේ ස්ක්‍රීන් ටෙස්ට් වගයක් තියෙනවා. ගිහින් බලන්න කියලා. ඒකෙදි මං මුලින්ම තේරුණේ ‘ඒ හීනේ ‘ නාට්‍යයට. එතන තමයි මගේ ආරම්භය. ඊට පස්සේ තමයි ඉස්කෝලේ එක්ක සම්බන්ධ වුණේ.

‘ඒ හීනේ‘ වගේ ඔබටත් හීනයක් තිබුණ ද  කවදාහරි රංගන ශිල්පිනියක් වෙනව කියලා?

කවදාවත් නෑ. මේ මං හීනෙකින්වත් නොහිතුව පැත්තක්. මං ඉගෙන ගත්තෙ නැටුම්. උසස් පෙළ කළේ වාණිජවලින්. මගේ අප්පච්චිට ලොකු ඕනකමක් තිබුණා මාව ලෝයර් කෙනෙක් කරන්න. මාත් උත්සාහ කළා අප්පච්චිගේ ඒ හීනේ සැබෑ කරන්න. ඒත් මට බැරි වුණා. ඊට පස්සේ මං බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රිය කරන්න පටන් ගත්තා. කොරෝනා නිසා ඒකත් අතරමඟ නතර වුණා. දැන් ආයිම ඒක පටන් ගත්තා. ඉස්කෝලේ නාට්‍ය කණ්ඩායම නවක ශිල්පිනියක් විදිහට මට ලොකු සහායක් දෙනවා. එයාලා ඔක්කොම හරිම හොඳයි. හරිම එකමුතුයි. ඔක්කොම එකතු වුණාම හරිම විනෝදයි. මං හරිම ආසයි ෂූටින් තියෙන දවසට.

රංගන ශිල්පිනියක් විදිහට ලෂිනිට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

අම්මයි අප්පච්චියි මට ලොකු සහායක් දෙනවා. එයාලා හරි ආසයි මං රඟපානවට. ඒ දෙන්නා ගෙට එන්නෙම අද ඔයා ඉන්නවද කියලා අහගෙනමයි. මං ඉතින් යූටියුබ් එකෙන් කලින් බලනවා. කොටට ඇඳින්න එපා, කොණ්ඩා කපන්න එපා කියලා අප්පච්චි මට කිසිම නීතියක් දාල නෑ. ඕනම පැෂන් එකක් කරන්න නිදහස දීලා තියෙන්නේ. එයා නිතරම කියන්නේ ඔය තරුණ වයස ආයෙ එන්නෙ නෑ. ඒ නිසා ඕනම පැෂන් එකක් කරන්න කියලා. මං තමා කරන්නේ නැත්තේ. ඒත රෑ වෙලා ගමන් බිමන් යන එක නම් තහනම්.

ආදරය ගැනත් අත්දැකීම්  ඇති?

දැනට මං ආදරවන්තියක් නෙවෙයි.  ගෙදරින් මට ආදරයට තහනමක් දාලා නෑ. ඒත් එයාලා කියන්නේ තව ටිකක් ඉන්න කියලා. ආදරය ගැන පුංචිම පුංචි අත්දැකීමක් විතරයි තියෙන්නේ. ඉතාම කෙටි කාලෙක ඇසුරක්. එයා මට ගැළපෙන්නෑ කියලා හිතුණා. ගෙදරිනුත් අකමැති වුණා. ඒ නිසා ඒක නතර වුණා.

ඔයාට ගැළපෙනවා කියලා බලාපොරොත්තු වෙන්නේ මොන වගේ කෙනෙක් ද?

මං බලන ප්‍රධානම දේ තමයි එයා මට ඇත්තටම ආදරේ කරන්න ඕන. කෙයාරින් කියන එක තමයි මං ගොඩක්ම බලන්නේ. කොහේහරි ගියත්, ලෙඩක් දුකක් හැදුණත් හොයලා බලනවා නම් ඒක තමයි මට ඕන. එයා ටොෆියක් දුන්නත් මට ඒක මාර හැපී. මොකද එයානෙ ඒක දුන්නේ. ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ. රූපෙ තියෙන්න ඕන. ඒත් මහා ලොකු ලස්සනක් නොවෙයි. කළු ද සුදු ද කියන එකත් මට අදාළ නෑ. මගෙ හිතට හරියන්නයි ඕන.

 

නාමලී ගමගේ



1 comment:

            ශ්‍රී ලංකා -ඉන්දීය කලාපීය මිතුදමට සේතුවක් සේ පිදෙන                                      DRDගේ  ‘සංජීවනී ලේ ආ රේ‘   එකම ලේ ධාතු...