Wednesday, November 1, 2023

            ශ්‍රී ලංකා -ඉන්දීය කලාපීය මිතුදමට සේතුවක් සේ පිදෙන

                                    DRDගේ  ‘සංජීවනී ලේ ආ රේ‘ 


 එකම ලේ ධාතුවකින් සැදි, එකම මානව වංශයකට නෑකම් කියන අපි දේශ සීමා, ජාති, ආගම්, කුල, භාෂා වැනි පටු සීමාවන්ගෙන් බෙදී, බිඳුණු සිත් ඇත්තන් ලෙස ජීවත් වන්නෙමු. එවන් සිත් එක් කළ හැක්කේද ප්‍රේමයෙනි. එය සැබෑවටම අරුත් ගන්වන ශ්‍රී ලංකා -ඉන්දීය කලාපීය මිතුදමට සේතුවක් සේ පිදෙන  ‘සංජීවනී ලේ ආ රේ‘  ගීතය පසුගිය දා ගුවනට මුදාහැරුණේ අපේ අසල්වැසි භාරතයෙනි. ලොව ප්‍රකට භාරතීය ගායක පත්ම ශ්‍රී හරිහරන්ගේ හඬින් ගැයෙන මෙම ගීතයට හඬ මුසු කරමින් මියුරු සංගීත ස්වර රටා මවන්නේ දේශීය මෙන්ම ජාත්‍යන්තර සම්මානලාභී සංගීතඥ දර්ශන රුවන් දිසානායකයි. 

පසුගිය සැප්තැම්බර් 28 වැනිදා මුම්බායිහි හරිහරන් ස්ටුඩීයෝහි දී ගුවනට මුසු වුණු ‘සංජීවනී ලේ ආ රේ‘ හින්දි- සිංහල ගීතයේ නිර්මාණ අදහස දර්ශනගේ වීමත් ලාංකේය අපට  නිහතමානී ආඩම්බරය ගෙන දෙන්නකි.

ගීතය නිර්මාණය පිළිබඳ  ඔහු අප හා පැවසුවේ මෙවන් අදහසකි.

 “මේක මටම ආපු අදහසක්. පූජියම් කියන මගේ දමිළ චිත්‍රපටයට නිර්මාණය කළ ගීතයක්. මගේ පළමු සිනමා නිර්මාණය වන ගොවි තාත්තා (Father, The Farmar) කරද්දිත් මට ඕන වුණේ අපේ නිර්මාණ  ලංකාවෙන් එහාට අරන් යන්න. ඒ වගේම ඒකට ජාත්‍යන්තර සම්මාන රැසක් හිමිවුණා. සංගීතයට අමතරව මං ඉතිහාසය ගැන හදාරන කෙනෙක්.  ඒ පැත්තට මගේ සංවේදීතාව වැඩියි. ඉන්දියානූ කලාපයේ සමානකම් තියෙන අපි ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ නෑදෑයෝ. එතනදි මට හිතෙනවා අපේ අසල්වැසියත් එක්ක නිර්මාණයක් කළොත් හොඳයි කියලා. පූජියම් සැලසුම් වෙන්නෙ ඒ විදිහට. චිත්‍රපටයට කලින් මේ අදහස ගීතයකින් ජනතාව අතරට යැව්ව නම් හොඳයි කියන අදහස එන්නෙ ඔය අතරේ. මුලින් දමිළ බසින් කරන්න අදහස් කළත් වැඩි ප්‍රමාණයක් ඉන්නෙ හින්දි අය නිසා අන්තිමේ හින්දියෙන් කරන්න හිතුවා. 

‘ආදරේට පුළුවන්, බෙදුණු සියලු සීමාවන් එකතු කරන්න.‘ යන මූලික අදහසින්  සිංහල පද ටික ලියවෙන්නේ මගේ අතින්. මුලින්ම කළේ මේකෙ දෙමළ වර්ෂන් එක. ඒත් අන්තිම මොහොතෙ හිතුනා හින්දියෙන් කළා නම් හොඳයි කියලා. ගීතයේ හින්දි පද පෙළ ලියවෙන්නෙ හින්දි භාෂාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරියක් වන වත්සලා සමරකෝන් අතින්. සංගීත දැනුමක් තියෙන කෙනෙක් විදිහට ඇය මගේ අදහසට හානියක් නොවෙන්න හරි ලස්සනට ඒක කළා. ඒ දෙකම වොයිස් කරලා මං යවපු ගයිඩ් එක හරිහරන් අතට පත්වෙලා  කැමැත්ත ලැබෙන්නත් මාස 8ක් විතර ගියා.  ඒක අහපු ගමන්ම  අනිත් පැත්තට ඔහු මට කෝල් කරලා කිවුවා, මේ තේමාවෙන් මං මීට කලින් ගීත කරලා නෑ. මේක මං හරිම කැමැත්තෙන් බාරගන්නව කියලා. ලංකාවෙ පන්සිළු ශබ්දාගාරෙදි වගේම ඉන්දියාවෙ හරිහරන් ස්ටුඩියෝ එකේත් පටිගත කිරීම් කළා.  රූප රචනය සංස්කරණයෙන්  අජිත් රාමනායක ලොකු සහායක් දුන්නා. සැප්. 28 වැනිදා මුම්බායිවල හරිහරන් ස්ටුඩියෝ එකේ හරිහරන්ගෙ ප්‍රධානත්වයෙන් හින්දි වර්ෂන් එක රිලීස් කළා. ටැමිල් වර්ෂන් එකත් ළඟදිම නිකුත් කරනවා. සංගීත නිර්මාණය වගේම ගායනයෙනුත් මං දායක වෙනවා.

පූජියම් තිර පිටපත මේ වෙද්දි හදල ඉවරයි. ඉන්දියාව වගේම ශ්‍රී ලංකාවත් රංගන දායකත්වය සපයනවා. පත්ම ශ්‍රී හරිහරන්, ස්වේතා මෝහන්, හරී චරන් ගායනයෙන් සම්බන්ධ වෙනවා. හරිහරන් මේකෙට රංගනයෙන් දායක වීමත් විශේෂත්වයක්. පූජියම් චිත්‍රපටයට ඔහු අසීමිතව සපෝට් කරන බවත් කිවුවා. ඔහු මාව හඳුන්වන්නේ DRD කියලා. ඉන්දියාවෙත් දැන්  මාව හඳුන්වන්නෙ ඒ නමින්.  ලොකු පණිවුඩයක් සමාජගත කරන නිසා ඉන්දියාවෙ ජනතාවගෙන් මේකට ලොකු සහායක් ලැබුණා. පූජියම් නිෂ්පාදනයෙන් සහාය වෙන්නේ දිනේෂ් ප්‍රනාන්දු. ශෂික රුවන් මාරසිංහ මුල ඉඳන්ම මට ලොකු සහායක් ලබාදෙනවා. ඒ වගේම පල්ලේගම හේමරතන හිමියන්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් ආතාවුදහෙට්ටි ඇතුළු පිරිසකුත් ඒ අතර ඉන්නවා. ටිකට් අනුග්‍රාහකත්වය ලබා දුන් ශ්‍රී ලංකන් එයාර් ලයින්හි අසංකවත් මේ වෙලාවෙ ස්තුතිපූර්වකව සිහිපත් කරනවා.

 ‘රූප, නාද, අර්ථ, සෞන්දර්ය පිරිපුන් කලා කෘතියක් වේද එය සිනමාවයි‘ ඒක මගේ අදහස.  පූජියම්, ආල, මහ පැරකුම් කියන සිනමාපට තුන නිර්මාණය වෙන්නේ ඒ අදහස පෙරදැරිවයි. මේ වෙද්දි චිත්‍රපට 15ක් ටෙලි නාට්‍ය 36ක් වගේම ගීත 1500කට අධික සංඛ්‍යාවකට සංගීතය නිර්මාණය කරලා සංගීතය පැත්තෙන් ලැබෙන්න පුළුවන් හැම සම්මානයක්ම වගේ ලැබිලත් තියෙනවා . පොලොන්නරුව වගේ පිටිසර ගමක ඉපදිලා කාගෙවත් සහායක් නැතුව මේ ගෙන්දගම් පොළොවෙ කට්ට කාලා  මේ ලබාගත් ජයග්‍රහණ ගැන මට නිහතමානී සතුටක් තියෙනවා. සංගීතඥයෙක් විදිහට ඇත්තටම මං තෘප්තිමත්.

..........................................................................

‘සංජීවනී ලේ අ රේ‘ හින්දි පද පෙළ රචනා කළ වත්සලා සමරකෝන් ගීතය ගැන පළ කළේ මෙවන් අදහසකි.

“සංජීවනී කියන්නේ රාමායණය පුරාවෘත්තයට අනුව ප්‍රහාරයකට ගොදුරු වී සිටි ලක්ෂ්මණ්ට නැවත පණ දෙන්න හනුමන් විසින් හිමාලයෙන් ගෙන ආ දිව්‍යමය බෙහෙත් පැළැටියේ නාමය. සංජීවනී හි දිව්‍යමය ගුණයෙන් මළ හදවතකට ප්‍රාණය ලබාදෙන්නේ යම් සේද ජාති, ආගම්, භාෂා වශයෙන් බෙදී වෙන්වී  මිය ගිය මිනිස් හදවත්වලටත් නැවත ප්‍රාණය ලැබෙන්න කියන අදහස ඇතුවයි මේ පද වැල් ලියවුණේ. මේ ගීතයේ අර්ථය ගැන හරිහරන් ගොඩක් සතුටු වුණා වගේම ගොඩක් අගය කළා.“

රැගෙන එන්න දිව්‍යමය සංජීවනිය    

ගල්වන්න රිදුම් දෙන මිනිස් හතෙහි

දිවි ගෙවන්න ප්‍රේමයෙන් හැමවිට

එකම රුධිරයයි ඇත්තේ

සිංහල, දෙමළ,  මුස්ලිම්

කුමන රැසක කුමන දහමක වුණත්

මිනිසුන්ගේ

මතකයෙ සදා ඇත

රුහිරු වැගිරුණු සැටි

සෙනෙහි පිරි මිහිමත

බෙදා වෙන් කළේ කවුරුද

එකම සොහොයුරු හැඟුම් බිඳ

හින්දි, උර්දු, දෙමළ

කුමන බසක කුමන අකුරින්

ලියූවත් ‘ප්‍රේමය‘ යන වදන

එකම හැඟීමයි එහි ඇත්තේ

වපුරන්න ‘ප්‍රේමය‘ පමණක්

 

නාමලී ගමගේ

 


 

 

Friday, April 28, 2023

      ලංකාවේ අලි ගැන  වැඩිපුරම කතාකරන මාධ්‍යවේදියා - අසංක

ජාතික රූපවාහිනිය රජය හා සම්බන්ධ වගකීම අතින් ඉහළම මාධ්‍ය ආයතනයකි. ප්‍රවෘත්ති විකාශය එහි ප්‍රධානම සුවිශේෂීම අංගයකි. එහි ප්‍රවෘත්ති නිවේදනයට තේරීමත් සුවිශේෂීය. ඒ අතරින් රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව නොකියාම බැරිය. රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඉදිරිපත් කරන ප්‍රමුඛ පෙළේ නිවේදකයකු වන ඔහු අසංක නිලඟරත්නය.

බියංකා සමඟ වැඩිපුරම රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ගෙන එන ඔහු අසංක නිලඟරත්නයි. ඔහුත් අපේ කතාබහට එක්කර ගත්තා. 

ජාතික රූපවාහිනියේ රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේදි  බියංකත් එක්ක වැඩිපුරම කපල් වෙන්නෙ අසංක. කොහොමද ඒ වගකීම දැනෙන්නේ?

අපි නිතරම ඉන්නෙ වගකීම කියන බැම්මෙන් බැඳිලා. බියංකා කියන්නේ හොඳ දැනුමක්, අවබෝධයක් සහිත සහායකයෙක්. ප්‍රවෘත්ති විකාශයේ දී සත්‍ය හා නිවැරැදි බව වගේම රටේ ලෝකෙ තොරතුරු ගැනත් අපි අප්ඩේට් වෙන්න ඕන. නිවුස් රූම් එකෙන් ලැබෙන නිවුස් එක කියවගෙන යනවට වඩා ඒ ගැන අපිත් දැනුවත් වෙලා හිටියොත් අපිට ඒක වඩා විශ්වාසෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. මම ප්‍රවෘත්ති අංශයේ නිෂ්පාදකවරයෙක් විදිහටත් කටයුතු කරන නිසා ප්‍රවෘත්ති නිවේදනයේ දී ඒක මට පහසුවක්. ඊට අමතරව මං පාර්ලිමේන්තු වාර්තාකරණයෙත් යෙදෙනවා. ඒ වගේම කාර්යභාර සංස්කාරක කියන වගකීමත් දරනවා.

කොහොම ද එතකොට අසංක ප්‍රවෘත්ති නිවේදනයට  සම්බන්ධ වෙන්නේ?

පොඩි කාලෙ ඉඳන්ම තිබුණෙ නිවේදකයෙක්, මාධ්‍යවේදියෙක් වෙන හීනයක්. රජරට සේවයේ වැඩසටහන්වලටත් ගියා. මූලික අධ්‍යාපනය හැදෑරුවේ කිරිමැටියාව මහා විද්‍යාලයෙන්. ඊට පස්සේ කුලියාපිටිය සාරනාත් මහ විද්‍යාලයට ඇතුළත් වුණා. ආරියරත්න ඇතුගල සර් ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතීත්වය දරපු කාලෙ රූපවාහිනී පර්යේෂණ හා පුහුණු ඒකකයේ  රූපවාහිනි මාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කළා. ඒකට අයඳුම් කරලා තමයි රූපවාහිනියට අඩිය තිබ්බේ. ඔය අතරේ ගුවන්විදුලියේ සහන නිවේදකයෙක් විදිහටත් තේරුණා. පාඨමාලාව අවසන් වෙන කාලෙ රූපවාහිනි ප්‍රවෘත්ති අංශයේ කාර්ය මණ්ඩලයේ අඩුවක් නිසා අපෙන් ළමයි 6 දෙනෙක් තෝරගත්තා. ඒ අතරේ මාත් හිටියා. මුලින්ම ප්‍රවෘත්ති අංශයට. 2009 ඉඳන් පුහුණුවන නිෂ්පාදක සහකාරවරයෙක් විදිහටත් වැඩ කළා. ප්‍රවෘත්ති හඬකැවීම්වලට සහභාගි වුණා. ප්‍රවෘත්ති කියන්නත් ලොකු ආසාවක් තිබුණා. 2010 වසරේ එක දවසක ඇතුගල සර්  කොරිඩෝ එකේදි හමුවෙලා මට කිව්වා අසංක ඔයාගෙ කටහඬ හොඳයි ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරල ගෙනත් පෙන්නන්න කියලා. ඒ විදිහට තමයි රූපවාහිනියට සම්බන්ධ වුණේ. 2010 අප්‍රේල් 15 තමයි පළමුවෙන්ම ප්‍රවෘත්ති ඉදිරිපත් කළ දවස.

රූපවාහිනී සජීවී තිරය මත ප්‍රවෘත්ති නිවේදනයේ පළමු අත්දැකීම කොහොමද ඔබට දැනුණෙ?

නිවේදන කටයුතු කරල තිබුණත් ප්‍රවෘත්ති කියන්න වාඩි වුණාම ලොකු තිගැස්මක් ඇති වුණා.  සත්‍යතාව, නිවැරැදිභාවය උපරිමයෙන්ම තිබිය යුතු වගකීම් සහගත ක්ෂේත්‍රයක් මේක. එදා ඒ දැනුණ තිගැස්ම තීම් එක ගහල එද්දි අදටත් මට දැනෙනවා.  

එතකොට ඔබට රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ලැබෙන්නෙ කොහොමද?

ඒකත් අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. මට තිබුණෙ පැයෙන් පැය පුවත් සහ දවල් 12.30. දවසක් ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදක එන්න පරක්කු වුණා. පැය භාගයයි තිබුණේ. ඒ වෙද්දි මං 12.30 ඉවර වෙලා මැදිරියේ හිටියේ. ප්‍රවෘත්ති අධ්‍යක්ෂකගෙන් පණිවිඩයක් ලැබුණා අසංක ඉක්මනට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය කරන්න ලේස්තිවෙන්න කියලා. මං ඉක්මනින් සූදානම් වෙලා මැදිරියට ගිහින් වාඩි වෙලා ඉන්නකොට විනාඩි දහයක් තියලා අදාළ නිවේදක ආවා. එදා ඔහුට ඉඩදීලා මං නැඟිටලා ආවා. තවත් දවසක් ඔය විදිහටම ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදකට එන්න බැරි වුණා. එදත් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ කිව්වා අසංක ඉක්මනින් ලේස්තිවෙලා එන්න කියලා. එදා තමයි රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය කරන්න අවස්ථාව ලැබුණේ. ඒ 2014 වසරේ. හදිසියේ වුණත් ඒ වගකීම හරියට කළ නිසා හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිශාන්ත උදේවංශ මහතාගේ මැදිහත් වීමෙන් ප්‍රධාන ප්‍රවෘත්ති රෝස්ටරේට මගෙ නමත් ඇතුළත් කළා. 

ප්‍රවෘත්ති විකාශයේදිත් අමතක නොවන රසවත් අත්දැකීම් ඇති නේද?

එක දවසක් මං ප්‍රවෘත්ති විකාශය නිමාවෙලා ඩෝමැට්‍රි එකේ ඉද්දි ප්‍රවෘත්ති අධ්‍යක්ෂගෙන් කෝල් එකක් ආවා අසංක හදිසි බ්‍රේකිං නිව්ස් එකක් ඉක්මනට ඔයා එන්න කියලා. මං එවෙලෙ හිටියෙ කොට කලිසම පිටින්. කමක් නෑ  මේක හදිසියි එන්න කිව්වා. මං කොට කලිසටම උඩින් ෂර්ට් එකයි, කෝට් එකයි දාගෙන ගිහින් නිව්ස් එක කිව්වා. ඒක තවත් විශේෂ වුණේ එදා කාර්ය මණ්ඩලයත් නෑ. කැමරාවට හිටියෙ ප්‍රවෘත්ති කැමරා ඒකකයේ ප්‍රධානියා. මැදිරි නිෂ්පාදක විදිහට හිටියේ නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ. ඒකට අදාළ කැසට් එක ප්ලේ කළේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රවෘත්ති. ඒක නම් කවදාවත් මට අමතක වෙන්නෙ නැති අත්දැකීමක්.

ඔබ බලාපොරොත්තු වුණු, හීන දැක්ක මාධ්‍යවේදියා ඔබ තුළින් මතුවුණා  කියලා හිතනවද?

ඔව්. මම මගේ වෘත්තිය ගැන තෘප්තිමත්. මං ප්‍රතිපත්තියක් විදිහට තිරයේ පෙනී ඉන්නේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් සම්බන්ධ වැඩසටහන්වලදී විතරයි. පාර්ලිමේන්තු වාර්තාකරණයේ දී පෙනී ඉන්නවා. මං විශ්වාස කරන දෙයක් තමයි ප්‍රවෘත්ති නිවේදකයෙක් ඒ හා සම්බන්ධ වැඩසටහන්වලට පමණක් සම්බන්ධ වුණා නම් හොඳයි කියන එක.

අසංක නිලඟරත්න කියන්නෙ අලි පිස්සෙක් කිව්වොත්?

පුංචි කාලෙ ඉඳන්ම මට ඒ ආසාව තිබුණා. රූපවාහිනියට ආවට පස්සෙත් අලි පිස්සුව එහෙමම තිබුණා. මං ප්‍රවෘත්ති නිෂ්පාදකවරයා විදිහට කටයුතු කළොත් අලි නිවුස් එකක් කරනවාමයි. ලංකාවෙ අලි ගැන වැඩිපුරම කතා කරන මාධ්‍යවේදියා මං වෙන්නත් ඇති. ඒක සංසාරගත බැඳීමක් වගේ. 

වගකීම් සහිත රැකියාවක් කරද්දී සමීපතමයන්ගේ සහාය  වගේම තේරුම් ගැනීමත් වැදගත් නේද?

අනිවාර්යයෙන්ම. මං විවාහ වෙලා පුංචි පුතෙක් ඉන්නවා.  මගේ බිරිය හමුවුණෙත් ගුවන්විදුලි සංස්ථාවේ සහන නිවේදකයෙක්  විදිහට තේරිලා ගුවන්විදුලි අභ්‍යාස ආයතනයේ ට්‍රේනිං  කාලෙදි. එයා අයන්ති සමන්එළිය. එයාට මේ ෆීල්ඩ් එක ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා මට මේ කටයුතු කරගන්න ලොකු සහායක්, සහනයක් එයාගෙන් ලැබෙනවා. 

 

රාත්‍රී 8  ප්‍රවෘත්ති විකාශය වැඩි වාර ගණනක් ගෙන එන ඇය - බියංකා

නිවේදන කලාවත් විවිධ පැතිකඩ ඔස්සේ ගලායන්නකි. ප්‍රවෘත්ති නිවේදනය යනු එහි වගකීම් වැඩිම අංශයයි. ප්‍රවෘත්ති නිවේදනයට වාග් චාතූර්ය පමණක්ම සෑහෙන්නේ ද නැත. උචිත කටහඬ, රටේ ලෝකයේ තොරතුරු පිළිබඳ දැනුම්වත් බව මෙන්ම යාවත්කාලීන වීම ද අනිවාර්ය වේ.  බියංකා ප්‍රේමසිරි සහ අසංක නිලඟරත්න යනු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ රාත්‍රී 8 ප්‍රධාන පුවත් විකාශයේ  නිවේදක යුවලකි.  පුවතේ සත්‍ය හා නිවැරැදි බව සොයමින් යන ගමනේ  සොඳුරු අත්දැකීම් ගැන ඔවුන් හා කළ කතාබහයි මේ.

ජාතික රූපවාහිනියේ  රාත්‍රී 8 ප්‍රධාන පුවත් විකාශයේ නිවේදක යුවළ අතරින් වැඩිපුරම කාන්තා පාර්ශවය නියෝජනය කරන්නේ බියංකා. ඒකට විශේෂ හේතුවක් තියේ ද?

සාමාන්‍යයෙන් ප්‍රධාන පුවත් විකාශය සිදුකෙරෙන්නේ දෙපාර්ශවයෙන් දෙන්නෙක්. ප්‍රවෘත්ති නිවේදිකාවන්ගේ හිඟය නිසා බොහෝ විට මට ඒ අවස්ථාව  වැඩිපුර ලැබෙනවා. 

ප්‍රවෘත්ති විකාශය ඉදිරිපත් කරනවා කියන්නේ ඉතා වගකීමෙන් කළයුතු බැරෑරුම් කටයුත්තක්. ඔබේ වගකීම එතනින් නිමයිද?

ප්‍රවෘත්ති ඉදිරිපත් කරනව වගේම මං ප්‍රවෘත්ති අංශයේ සහකාර  නිෂ්පාදිකාවක් විදිහටත් කටයුතු කරන අතරතුර උදෑසන ලෝක ප්‍රවෘත්ති ගැන කියවෙන සිව් දෙස වැඩසටහනත් කරනවා. ඊට අමතරව කවරේජ්වලටත් යනවා. මේ හැම කටයුත්තක්ම වගකීම කියන හුයෙන් බැඳිලා තියෙන්නේ.

මහජනතාව ඉදිරියේ සත්‍ය හා නිවැරැදි භාවය තහවුරු කිරීමට ඔබ බැඳී ඉන්නවා. ඔබ අයිති රජයේ මාධ්‍ය ආයතනයකට. කොහොමද ඔබට ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ?

මං මූලික අධ්‍යාපනය ලැබුවේ ඕපනායක විද්‍යාකර මහාවිද්‍යාලයෙන්. උසස් අධ්‍යාපනය සඳහා  රත්නපුර සුමනා බාලිකාවට ඇතුළත් වුණා. එහි පාසල් ජනමාධ්‍ය සංගමයේ සභාපති වුණා. විද්‍යාකර විදුහලේ නියෝජ්‍ය විදුහල්පති  සුනිල් රාජපක්ෂ සර් ළමා නිවේදක නිවේදිකාවන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් සඳහා මගේ ඇප්ලිකේෂන් එකක් දාල තිබුණා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට. ඒ ඉන්ටවිව් එකෙන් මාව තේරුණා. ඒ වෙද්දි මං සා/පෙළ පන්තියේ. ළමා නිවේදිකාවක් විදිහට  එහි සති අන්තයේ දසත ළමා පුවත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබුණා. පිටපතක් රචනා කරන තැන ඉඳන් ප්‍රවෘත්ති හඬ කැවීම දක්වා සියලු පියවර එහිදී කියල දුන්නා. විභාග ළං වෙද්දි ගෙදර ඉඳන් ඔන් කැමරා රෙකෝඩින් එව්වා. මට මතකයි මුල්ම එක කළේ ඇහැළේපොල වලව්ව ගැන.

2012න් පස්සේ රූපවාහිනී අභ්‍යාස ආයතනයේ ටීවී ප්‍රසන්ටින් සහ ප්‍රවෘත්ති නිවේදනය පිළිබඳ කෝස් එකකට සම්බන්ධ වුණා. ටීවී ඇඩ් එකකට අනුව අයදුම් කරලා වට තුනක සම්මුඛ පරීක්ෂණයකින් සමත්වෙලා තමයි ප්‍රවෘත්ති නිවේදන අංශයට මාව තේරුණේ. ඒත් මගේ ආසාව තිබුණේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වෙන්න. මගේ කටහ‍ඬේ විශේෂත්වය නිසා විනිශ්චය මණ්ඩලයේ තේරීම වුණේ ප්‍රවෘත්ති නිවේදනයට. ඔය අතරේ විද්‍යා පීඨයට තේරුණත් මං වැඩිපුර කැමැති වුණේ මීඩියා ෆීල්ඩ් එකට. 2014 නිදහස් මාධ්‍යවේදිනියක් විදිහට ප්‍රවෘත්ති අංශයට බැඳුණු මං 2019 වෙද්දි ස්ථිර සහාය නිෂ්පාදකවරියක් වුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය හදාරලා සුදුසුකම් සපුරාගත් නිසා  විද්‍යා පීඨ ගියේ නෑ කියලා පසුතැවීමක් දැනිලා නෑ.

ඔබ ගොඩක් කැමැත්තෙන් හිටියේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වෙන්න. ඒත් දෛවය ඔබ යොමුකළේ වගකීම් සහිත තැනකට.  ඒ ගැන මොකද හිතෙන්නේ?

ඔව්. මං ගොඩක්ම ආස වුණේ වැඩසටහන් ඉදිරිපත් කරන්න. දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කරන්න තමයි වැඩිපුරම ආස. ඒත් තවමත් මට ඒ සඳහා අවස්ථාවක් ලැබුණෙ නෑ. 2010 තිබුණු පළවෙනි යොවුන්  පාර්ලිමේන්තු මැතිවරණයේ සුමන බාලිකා යෞවන සමාජය  නියෝජනය කරමින් ඉදිරිපත් වෙලා ලංකාවෙන්ම වැඩිම වෝට්ස් ගත්තෙ මං. ඒ නිසා එංගලන්තයේ ගිහින් එහි පැවැත්වුණු එංගලන්ත - ශ්‍රී ලංකා තරුණ හුවමාරු වැඩසටහනේ දී ශ්‍රී ලංකාව ගැන කතා කරන්න අවස්ථාවක් ලැබුණා.

බියංකට අමතක නැතුව ඇති මුලින්ම ප්‍රවෘත්ති නිවේදනය කරන්න රූපවාහිනී තිරය ඉදිරියේ වාඩිවුණු මොහොත?

ඔව්. ඒ 2014 මාර්තු මාසෙ දවසක්. 7.55 නිවුස් එකක් තමයි කියන්න ලැබුණේ. දේශීය පුවතක්, විදේශීය පුවතක් සහ ක්‍රීඩා පුවතක් එහි අන්තර්ගත වෙලා තිබුණා. අපිට ඒ ගැන ට්‍රේනිං එකක් දීල තිබුණත් ඒක පුදුම විදිහට ටෙන්ෂන් වුණු මොහොතක්. මගේ බුලටිං ප්‍රොඩියුසර් විදිහට හිටියේ චමින්ද ගුණරත්න අයියා. එයා තමයි ප්‍රධාන පාලක මැදිරිය එක්ක සම්බන්ධ වෙලා නිව්ස් එක ඩිලිවර් කරන්නේ. නිවුස් රූම් එකේ ඉන්න ප්‍රොඩියුසර්ස්ල නිව්ස් හදල දුන්නට නිවුස් රීඩර් එක්ක සම්බන්ධ වෙලා නිවුස් එක විකාශය කිරීමේ වගකීම තියෙන්නේ බුලටිං ප්‍රොඩියුසර්ට. මාත් අද ඒ කර්තව්‍යයේම නියැළෙන්නියක් වීම ගැන ගොඩක් සතුටුයි.

මේ වගකීම් සහිත ගමනේදි අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති?

මං මුලින්ම නිව්ස් කියන්න ගිය දවසෙ තමයි මේ සිදුවීමත් වුණේ. ඒ දවස්වල කාලගුණ වාර්තාව ඉදිරිපත් කරද්දී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සම්බන්ධ කරගන්නවා. කලින් සූදානම් කරගෙන හිටියත් මොකක් හරි තාක්ෂණික දෝෂයක් නිසා අදාළ නිලධාරිනියට එදා සම්බන්ධ වෙන්න බැරි වුණා. දැන් බුලටිං ප්‍රොඩියුසර් විදිහට හිටිය චමින්ද අයියා මට කියනවා නංගි නිලධාරිනිය සම්බන්ධ වෙන්නෙ නෑ, ඔයා ඊළඟ එකට යන්න කියලා. ඒක කාටවත් නොදැනෙන්න කොහොමහරි මට කරගන්න පුළුවන් වුණා. මං නිව්ස් එක කියලා එළියට එද්දි චමින්ද අයියා කිව්වා ඔයා ඒක ගානට බැලන්ස් කළා ගොඩක් හොඳයි නංගි කියලා. ඒ වගේ පරිණත කෙනෙක්ගෙන් ඒ වගේ වචනයක් අහන්න ලැබුණු එක මට ජීවිතේ අමතක වෙන්නෑ. ඒ වගේම මට මුලින්ම සජීවී වැඩසටහනක් ඉදිරිපත් කරන්න ලැබුණු දවසත් අමතක වෙන්නෑ. ඒක සිරි ලක සිරි අවුරුදු සිරි කියලා අවුරුදු උත්සවයක්. ආධුනිකයෙක් විදිහට එතනදි මං ගැන විශ්වාසය තියලා ලොකු රිස්ක් එකක් අරගෙන මාව ඒ සඳහා යෙදෙව්වේ නිශාන්ත උදයංග සර්. ඒක සිහිපත් කළ යුතුමයි. ඒකෙ මට පොඩි පොඩි සෙග්මන්ට් කරන්න තිබුණේ. අසේල බණ්ඩාරනායක අයියා වතුරේ  බැහැගෙන කොට්ට පොර තරගයක් නිවේදනය කරමින් හිටියේ. මාව දැක්ක ගමන් මොනාද බියංකා ගොඩක වෙලා ඉන්නේ ඔයත් එන්නකො වතුරට කිව්වා. මාත් දෙවරක් නොසිතාම ඇඳන් හිටපු ඇඳුම් පිටින්ම කර ළඟට වතුරට බැහැලා එදා ඒ වැඩසටහන ඉදිරිපත් කළා.  හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම තමයි පාස්කු ප්‍රහාරය දවසේ හදිසි බ්‍රේකිං නිව්ස් එකක් කියන්න සිද්ධ වුණේ ඒ ගැන කිසිම දැනුවත් වීමක් නැතුව, ඇඳන් ඉන්න ඇඳුමට උඩින් බ්‍රේසර් එක දාගෙන. කොහොමහරි මුළු දවසම කිසිම අවුලක් නැතුව කරගෙන ගියා. ඒ වගේ ගොඩක් අත්දැකීම් තියෙනවා.

බොහෝ දුරට ඔබට කපල් වෙන්නේ අසංක නිලඟරත්න. නිවුස් විකාශයට සහායකයාගේ සහාය කොතරම් දුරට වැදගත් වෙනවද?

ඒ සහයෝගය නම් ගොඩක්ම වැදගත් වෙනවා. සමහර විට අපි එක නිවුස් එක බෙදාගෙන කියන අවස්ථා තියෙනවා. එතනදි දෙන්නගෙ සන්නිවේදනය මත තමයි ඒක සිදුවෙන්නේ. හදිසි අපහසුතාවකදි වුණත් පාට්නර්ගේ අන්‍යෝන්‍ය බැඳීම ගොඩක් වටිනවා. බොහෝ දෙනෙක්ගේ ඒ සහාය ලැබෙනවා. අසංක අයියයි මායි නිතර එකට වැටෙන නිසා අපි අතර හොඳ අවබෝධයක් තියෙනවා. ඒක ලොකු පහසුවක්.

ඔබ විවාහකයි. භාරදූර කර්තව්‍යයක් කරද්දී ඒ සහයෝගය ගැනත් සඳහන් කරමු?

මගෙ තාත්තගේ කැමැත්ත අනුව තමයි කවදාහරි මට විවාහ වෙන්න නියම වෙලා තිබුණේ. ඒ නිසා මං කා එක්කවත් සම්බන්ධයක් ඇතිකර ගත්තෙ නෑ. එයා දිමුතු වීරකෝන් බණ්ඩාර.  ඇත්තටම කිව්වොත් සංසාරගත බැඳීමටකට ලැබුණු හස්බන්ඩ් කෙනෙක්. එයාගෙ අම්මත් කවදාවත් මට නැන්දම්මා කෙනෙක් වුණේ නෑ. එයාලගෙ සහාය නිසා තමයි අද මං මේ විදිහට හිනාවෙලා රූපවාහිනී තිරය ඉදිරියේ වගකීමක් දරන්නේ. මං යම්කිසි සාර්ථකත්වයක ඉන්නව නම් අනිවාර්යයෙන්ම ඒ එයාලගෙන් ලැබෙන සහාය නිසා.

නාමලී ගමගේ

 



 

 

 

Wednesday, April 19, 2023

 

                  ශ්‍රී වික්‍රම රාජසිංහ නූර්තිය නව මුහුණුවරකින්

ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවට රූපරාමු වේදිකාවක් රැගෙන ආ පළමු රංගන අත්දැකීම ලෙස නූර්තිය හැඳින්විය හැකිය. වෙනත් නාට්‍ය ශෛලීන්ගෙන් නූර්තිය පැහැදිලිවම වෙන්කර හඳුනාගත හැකි මූලික ලක්ෂණ අතර උත්තර භාරතීය රාගධාරී සංගීතය යොදාගැනීම, බබළන රංග වස්ත්‍ර යොදාගැනීම මෙන්ම පසුතල නිර්මාණය සඳහා චිත්‍ර වස්ත්‍ර යොදාගැනීම මූලික වේ. එමෙන්ම පසුතල නිර්මාණයේ දී විශ්මයජනක දර්ශන යොදාගනු ලබන්නේ ද ප්‍රේක්ෂකයාගේ ඇස, කන ආනන්දයෙන් පිනවා සිත මුකුලිත කර සතුටට පත්කර එමඟින් ප්‍රඥාව අවදි කිරීමේ අරමුණ පෙරදැරි කොටගෙනය.

බොහෝ ජනාදරයට පත් එවන් රසබර නූර්තියක් ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ නූර්තිය හැඳින්විය හැකිය. ක්‍රි.ව. 1906 දී නීතීඥ ජෝන් ද සිල්වා සූරීන් විසින් නිර්මාණය කළ සිංහලේ අවසාන රජු ලෙස සැලකෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වටා ගෙතුණු එම නූර්තියේ රජුගේ ගතිලක්ෂණ පිළිබඳ අතීතය පිරිස්සන් හට කුකුසක් මතුවී තිබිණි. එහි සදොස් තැන් ඇතැයි සැකයෙන් මෙරට ඉතිහාසය පිරික්සමින් ගවේෂණයක යෙදුනු වත්මන් ධර්මපාල පරපුරට එවන් තැන්  නිදොස් කරමින් එම නූර්තිය ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් මතුවිණි. එහි ප්‍රතිඵලය වූයේ ජෝන් ද සිල්වා සූරීන්ගේ මුල් කෘතිය මූලාශ්‍ර කරගනිමින් රත්නශීලා පෙරේරා විසින්  එය  නැවත අලුතින් රචනය කිරීමයි. ඇයගේම අධ්‍යක්ෂණයෙන් ධර්මපාල පරපුරේ නිෂ්පාදනයක් ලෙසින් එළිදක්වනු ලබන ශ්‍රී වික්‍රම රාජසිංහ නව නූර්තිය පෙබරවාරි 12 වැනි ඉරිදා සවස 6.00ට මරදාන ටවර් රඟහලේදී වේදිකාගත වීමට නියමිතය. එහි සැබෑ තතු හා අදහස් අප හා බෙදාගත්තේ එහි අධ්‍යක්ෂිකා රත්නශීලා පෙරේරායි.

“වත්මන් ධර්මපාල පරපුර නියෝජනය කරන පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ ආචාර්ය සේනාරත්න සිල්වා මෙරට ඉතිහාසය ගවේෂණය කර සොයා ගන්නවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගැන සමාජගත වෙලා තියෙන්නේ සත්‍ය තොරතුරු නොවන බව. රජු ගැන සඳහන්ව ඇත්තේ ඔහු බේබද්දෙක්, ස්ත්‍රී ලෝලියෙක්, විකාර මතින් තීන්දු තීරණ ගෙන ඇහැලේපොළ පවුල විනාශ කළ චරිතයක් බව. නමුත් ධර්මපාල පරපුර සොයා ගන්නවා ඒක එහෙම නොවෙයි කියලා. රජු පිටුවහල් කළ ඉංග්‍රීසි නැවේ කපිතාන් රජු මත්පැන්වලින් තොර බව ලියා තැබූ සටහන ගැන ඔවුන් සොයාගෙන තිබුණා.


ඒ වගේම එදා ඇහැලේපොළ පවුලේ ඝාතනය සිදුවෙන්නේ ඇහැලේපොළ රාජ ද්‍රෝහියකු වීමේ වරදට, පැවති රාජ්‍ය නීතිය ක්‍රියාත්මක වීම නිසායි. ඉංග්‍රීසීන්ට කත් ඇදපු ඇහැලේපොළ රට පාවා දීම වගේම පිළිමතලාවේ, මොල්ලිගොඩ වැනි නිලමේවරු කුමන්ත්‍රණය කර ඔවුන්ගේ වැරදි යටපත් කරගෙන ඒවා රජුගේ වැරැදි විදිහට පෙන්නා දී රජු පිටුවහල් කිරීමට සැලැස්වීම. එයින් සිදු වුණේ මේවා රජුගේ වැරදි ලෙස ඉස්මතු වීම.  ඔවුන් සොයාගත් කරුණු අනුව මේවා රජුගේ වැරදි නොවන බව පැහැදිලි කරමින් මට මෙය නැවත ලිවීමට අන්තර්ගත කරුණු ලබාදෙන්නේ මේ ධර්මපාල පරපුර. ඔවුන්ට තමයි ඕන වෙන්නේ මේ ශ්‍රී වික්‍රම රාජසිංහ  නැවත නඟාසිටුවන්න. ඔවුන් හිතනවා මෙය රටට ඉදිරිපත් කරන්න හොඳම ආඛ්‍යානය, ක්‍රමවේදය, ශෛලිය මේ නූර්තිය කියලා. සංගීතයෙන් සමීර සුභසිංහ, අංගරචනයෙන් චාමර රාජපක්ෂ, පසුතල නිර්මාණයෙන් කාංචන ගමගේ, රංග වස්ත්‍ර නිර්මාණයෙන් සුජීවා සිරිසේන මෙය වර්ණවත් කිරීමට දායක වුණා.

නූර්ති කලාව දැන් වියැකී යමින් තියෙන්නේ. ටවර් හෝල් රඟහලේ කාර්යභාරය තමයි මේවා රැකගන්න එක. අවසන් වරට 2000 වසරේ තමයි ජී.එච්. ස්ටැන්ලි පෙරේරා මාස්ටර් සහ වික්ටර් වික්‍රමගේ විසින් නූර්ති කිහිපයක ජවනිකා පමණක් යොදා ගෙන ද පැජන්ට් ඔෆ් ටවර් හෝල් කියලා නිර්මාණයක් කළා. ඒකටත් මම දායක වුණා. සම්පූර්ණ නූර්තියක් බොහෝ කලකින් නිර්මාණය වෙලා නෑ. විශේෂයෙන්ම පාසල්වල උගන්වන ගුරුවරුන්වත් නූර්තියක් දැකලා නෑ. ඒ නිසා ඒ පිළිබඳ ඉගැන්වීමේ දී ඔවුන් අපහසුතාවට පත්වීම සාධාරණයි. පවුලේ ආභාසය නිසා මම පොඩි කාලේ ඉඳන්ම නූර්තිවලට සම්බන්ධවෙලා තියෙනවා. ඒ වගේම ටවර් හෝල් රඟහලට වසර 100ක් පිරීම නිමිත්තෙන් ‘ටවර් හෝල් සියවස් පුරාණය‘ කියලා මම ග්‍රන්ථයක් රචනා කළා. ඒ එක්කම ‘ටවර් හෝල් සුපිරි තරු‘ කියලා එකකුත් රචනා කළා. ඒ දෙකෙන්ම මම කියන්න උත්සාහ කළේ ස්වර්ණමය ටවර් හෝල් යුගය නූර්තියෙන් වර්ණවත් වුණ හැටි. ඒකෙ සම්පූර්ණ විස්තරය දිගහැරෙනවා. හිටපු නළු නිළියන් පිරිස, කරපු නාට්‍ය, ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම ටවර් හෝල් සම්ප්‍රදායේ පාලන ක්‍රමවේදය ගැනත් සඳහන් වෙනවා. ඒ වගේම නීතීඥ චාල්ස් ඩයස් සූරීන්ගේ සිවම්මා ධනපාල නූර්තියේ ප්‍රධාන චරිතයටත් මං දායක වුණා. ඒක ලංකාවේ ජනප්‍රියම නූර්තියක්. ඒ අත්දැකීම් සමඟින් මගේ ශාස්ත්‍රවේදී උපාධිය සඳහා විෂයන් හදාරමින්, දැනුම රැස්කරමින්  ඒ ගැන ලොකු අවධානයක ඉන්න මොහොතක තමයි මට මේ සඳහා ආරාධනා ලැබෙන්නේ. 

1906 වර්ෂයේ නීතීඥ ජෝන් ද සිල්වා සූරීන් නිර්මාණය කළ ශ්‍රී වික්‍රම රාජසිංහ නූර්තිය තමයි පසුකාලීනව වරින් වර වේදිකාගත වෙන්නේ. එහි උත්තර භාරතීය රාගධාරී සංගීතයට අනුව  සැකසුණු ගීත අදටත් ජනප්‍රියත්වයේ තියෙනවා. 

‘වාසනා දිනේකි මේක, දන්න වංහුං අප, පිනවන්න සවන් ඇසුවන්ගෙ සොඳින් වගේ  ගීත අදටත් ජනප්‍රියයි. නීතීඥ ජෝන් ද සිල්වා සූරීන්ට සංගීතයෙන් සහාය වුණේ ඉන්දියාවෙන් පැමිණි විශ්වනාත් ලව්ජි නමැති බ්‍රාහ්මණ පඬිවරයා. එතුමාගේ නූර්තියේ ඒ ගී තනු යොදාගෙන නූර්ති ලක්ෂණ රැකගනිමින් මාත් මේකට අලුතින් සින්දු ලිව්වා. මේකෙ සම්පූර්ණ ගෞරවය එතුමාට හිමිවිය යුතුයි. මං සලකන විදිහට එතුමා තමයි ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ පියා. නූර්ති නාට්‍ය කලාවේ ප්‍රාරම්භකයා සීබන් බස්තියන් සූරීන් ලෙස සැලකුවත් ඔහුගේ නූර්තිවල නිශ්චිත ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඔහු කළ රොලීනා නාට්‍යයේ නාඩගම් ලක්ෂණ වගේම බටහිර නාට්‍ය ලක්ෂණත් මිශ්‍ර වෙලා තිබුණා. ඊට පස්සේ තමයි එහි අනුප්‍රාප්තිකයා විදිහට නීතීඥ ජෝන් ද සිල්වා සූරීන් නූර්තියට නියම හැඩතල දෙන්නේ.“

නාමලී ගමගේ

  



            ශ්‍රී ලංකා -ඉන්දීය කලාපීය මිතුදමට සේතුවක් සේ පිදෙන                                      DRDගේ  ‘සංජීවනී ලේ ආ රේ‘   එකම ලේ ධාතු...