2022 CEYIFF සම්මාන උලෙළේ හොඳම සහාය නිළිය ඇයයි
සිංහල සිනමාව ජාත්‍යන්තරයට ගෙනයෑමේ සිහිනය උදෙසා CEYIFF හා අත්වැල් බැඳගනිමින් CINE STAR පදනම විසින් පවත්වනු ලැබූ 2022 CEYIFF සම්මාන උලෙළේ හොඳම සහාය නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ ඇයයි. සිනමාවට ඇගෙන් ලැබුණු දායකත්වය සීමිත වුවත් ඒ වපසරිය තුළ සාර්ථකත්වයේ උපරිමය ස්පර්ශ කරමින් සම්මානිත වන්නට තරම් ඇය වාසනාවන්ත වූවාය. පුංචි තිරයට අහිංසකත්වය ගෙන ආ ඇය දක්ෂ රංගන ශිල්පිනී හිමාලි සයුරංගිය. ලද ජයග්‍රහණයේ උණුසුම යන්නට මත්තෙන් ඇය අප හා එක්කර ගත්තේ අලුත්ම තොරතුරු දැනගැනීමේ අපේක්ෂාවෙනි.
සිනමාවට මගෙන් මෙතෙක් ලැබුණු දායකත්වය අඩු වුණත් ඒ ලැබුණ හැම අවස්ථාවෙන්ම මට ඵලයක් ලැබුණා. පසුගියදා පැවති සිනේ සම්මාන උලෙළේදී සුනාමි චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නිළියට හිමි සම්මානය ලැබුණා. එවන් සම්මාන උලෙළක් සිංහල සිනමාව හා ජාත්‍යන්තර සිනමාව අතර පිවිසුමක් නිසා ඒ ගැන මට සතුටුයි.
ඔබ කියන්නේ ඔබට සිනමාවට ලැබෙන ආරාධනාවල අඩුවක් තියෙනව කියල ද?
ඇත්තටම ඔව්. මං දැන් ක්ෂේත්රයට ඇවිත් අවුරුදු 18ක් විතර වෙනවා. මේ වෙනතුරු මං දායක වුණු චිත්‍රපට ප්‍රමාණය හරිම සීමිතයි. මට ලැබුණු හැම අවස්ථාවකදිම මම සාර්ථක වුණා කියලා මට විශ්වාසයි. මීට වඩා අවස්ථා ලැබෙනවා නම් මීට වඩා යමක් කරන්න පුළුවන් කියලා හිතනවා. මගේ හැකියාවෙන් සිනමාව තාමත් උපරිම ප්‍රයෝජන ගත්තෙ නෑ කියලයි මට හිතෙන්නේ.
මෙවර සම්මානයට පාත්‍ර වුණු සුනාමි චිත්‍රපටයේ චරිතය ගැන කතා කළොත්?
සුනාමි චිත්‍රපටයේ ශ්‍රියානි කියන සිංහල කාන්තාවකගේ චරිතය තමයි මං නිරූපණය කළේ. ඒක සිංහල සහ දෙමළ පවුල් දෙකක් අතර අතිශයින් මානුෂීය හැඟීමක් පාදක කරගෙන සැකසුණු නිර්මාණයක්. ශ්‍රියානි කියන කාන්තාවගේ ළමයා නැති වෙලා, අර දෙමළ පවුලේ ළමයා තමන්ගේම ළමයෙක් වගේ හදාගන්නවා. තමන්ගේ නොවන බව දැන දැනම එයාල පුදුම විදිහට ආදරෙන් හදාගන්නවා. ඒ ළමයා දෙමළෙන් කතා කරන අවස්ථා තිබුණත් හදවත පිළිගන්න සූදානම් නෑ මේ ළමයා එයාලගේ නොවෙයි කියලා. කොහොමහරි අන්තිමට ලේ පරීක්ෂාවෙන් තමයි ඔප්පු කරන්නේ මේ ඒ දෙමළ පවුලට අයත් ළමයා බව. අන්තිමට නීතියෙන් ඒ ළමයා අර දෙමළ පවුලට අයිති වුණත් පවුල් දෙකේම ආදරේ එක සමානව ලැබෙනවා. මේ තුළින් ගොඩක් දුරට පෙන්නන්න උත්සාහ කරලා තියෙන්නේ ලේ බැඳීමටත් වඩා හදවතේ බැඳීම ප්‍රබලයි කියන එක. ශ්‍රියානි කියන චරිතය චිත්‍රපටය පුරාවට දිගහැරුණු එකක් නොවුණත් දෙබස් අඩු වුණත් විශාල තාත්වික හැඟීම් ප්රකාශනයක් තිබුණා. ඒ නිසා වෙන්න ඇති සම්මානයට පාත්‍ර වුණේ.
නැහැ. මං ජාතික රූපවාහිනියේ සහ ස්වර්ණවාහිනියේ නිවේදිකාවක් විදිහට තමයි මුලින්ම ක්ෂේත්රයට සම්බන්ධ වුණේ. නාලන් මෙන්ඩිස් මහත්මයා ඉන්ටර්විව් එකකදි මාව දැකලා ඔහුගේ ‘මම නොවේ මම‘ කියන ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට ආරාධනා කළා. ඒ ආව ගමන තමයි හිමාලි සයුරංගි කියන නිවේදිකාව පරයා රංගන ශිල්පිනිය ඉදිරියට ආවේ. සිකුරු හතේ කියන්නේ මගේ පළවෙනි සිනමා නිර්මාණය. ඒ සඳහා හොඳම නැඟී එන නිළියට හිමි සරසවි සම්මානය හිමිවුණා. මේ වගේම දර්ශන රුවන් දිසානායකගේ ගොවි තාත්තා සිනමා පටයේ රංගනය වෙනුවෙන් අන්තර්ජාතික සිනමා උලෙළකදී හොඳම නිළියට සම්මානිත වුණා. ටෙලි නාට්‍ය ක්ෂේත්රයේත් හොඳම නිළිය, හොඳම සහාය නිළිය, හොඳම නැඟී එන නිළිය වගේම ජූරියේ විශේෂ සම්මානත් ලැබිලා තියෙනවා. දෙවරක් හොඳම නිළියට සම්මානිත වුණා.
ඔබේ අහිංසක පෙනුම චරිත ලබාදීමේදී බලපෑමක් ඇති කළා ද?
ඔව්. ඉස්සර ඉඳන්ම මට ගොඩක් දුරට ලැබුණේ ගැමි චරිත. ඒකට හේතුව මගේ රූපයේ තිබෙන ගැමි හුරුව නිසා වෙන්න ඇති. මටත් හිතෙනවා මොඩර්න් චරිතවලට වඩා මාව ගැළපුණේ ගැමි චරිතවලට කියලා. ගොඩක් දුරට මට බටහිර පන්නයේ චරිත ලැබුණා අඩුයි. මං මෙතෙක් කළ හැම චරිතයක්ම වගේ ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ ගත්තා. එදා ඉඳන් ඒ ලැබුණු ආදරේ නම් අඩුවක් වෙලා නෑ.
මේ දවස්වල දිවිතුරා එකේ සමාධිගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?
සමාධිට ලැබෙන ප්‍රතිචාර නම් හරිම සතුටුදායකයි. එළියට ගියහම ප්රේක්ෂකයන්ගෙන් ලැබෙන පිළිගැනීම හිතාගන්නත් බෑ. මට ඉන්නෙ අවුරුදු 8ක දුවක්. එයා මාත් එක්ක එළියට යන්න කැමතිම නැත්තේ ප්‍රේක්ෂකයන් සෙල්ෆි ගහන්න කතා කළාම එයා තනියෙන්නෙ. අම්මි එක්ක එළියට ගියාම හරි කරදරයි කියනවා.
දෙවෙනි ඉනිම
වගේ දීර්ඝ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වීමෙන් ඔබට ලැබෙන්න තියෙන අවස්ථා මඟහැරුණා කියලා
හිතුණෙ නැද්ද?ඔව් ඒක දීර්ඝ නාට්‍යයක්. පටන් ගැන්මට වඩා පස්සෙ ඒක ස්වාභාවිකත්වයෙන් මිදිලා වෙනස්ම මඟකට යොමු වුණා. දැන්නම් ඒකෙ ෂූටින් ඉවරයි. දිවිතුරා නම් තාම යනවා. තේ දළු නෙළන කාන්තාවකගේ චරිතයකට ආරාධනා ලැබුණා. එය ඉදිරියේ දී විකාශයට නියමිතයි.
හිමාලි සයුරංගි කියන සාමාන්‍ය ජීවිතේ චරිතය ගැන කතා කළොත්?
හිමාලි සයුරංගි කියන්නේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන ඉදිරිය ගැන මහා ලොකුවට නොහිතන අද ජීවත් වෙන සාමාන්‍ය කෙනෙක්. එහෙම වුණහම ජීවිතේ හරි පහසුයි. ලොකුවට අනාගතය ගැනවත් පහුගිය දේවල් ගැනවත් හිත හිත ජීවත් වෙන චරිතයක් නොවෙයි. වර්තමානය සතුටින් ගෙවන උදාවෙන හැම දවසක්ම සතුටින් පටන් ගෙන සතුටින් නිමා කරන කෙනෙක්.
නාමලී ගමගේ



ලස්සනයි ❤️
ReplyDeleteLassanai akke
ReplyDeleteGood job akka ❤️
ReplyDeleteLassanai akke
ReplyDeleteHimali kiyanne multi talented actress kenek
ReplyDeleteniyamai
ReplyDelete