වොයිස් ශ්‍රී ලංකාහි වෙනස්ම ආරකට ගැයූ ඇය දක්ෂ නිවේදිකාවක්
ගායනය, රංගනය, නිවේදනය යන අංශයන් ත්‍රිත්වයම නියෝජනය කරමින් කලාව තුළ බැබළෙන්නන් දැන් දැන් සුලබය. ඒ අතරින් දක්ෂතාව මත එහි නියැළෙන්නන් සිටින්නේ නම් අතළොස්සකි. පමුදි අපෝන්සු නම් ඇය ඒ දක්ෂතා ත්‍රිත්වය තුළම එකසේ දස්කම් දක්වන්නියකි. ළමා වියේදීම රංගනයට අත්පොත් තැබූ ඇය වසර ගණනාවක සිටම නිවේදනයේ සහ ගායනයේ ද දස්කම් දක්වන්නීය. පවුල් වපසරියෙන් විවර වුණු මඟ ඔස්සේ කලාවට පිවිස ස්වඋත්සාහයෙන් කලා අඹරේ දිදුලන ඇය ගැනයි මේ තොරතුරු.
වොයිස් ශ්‍රී ලංකා රියැලිටි වැඩසටහනේ නුදුරේදීම ඉවත් වුණු තරුව ඔබ. කොහොමද ඒ අත්දැකීම?
විනිශ්චය මණ්ඩලයේ හොඳ ප්‍රතිචාර වගේම ප්‍රේක්ෂකයන්ගේ ආදරය මාව බ්ලයින්ඩ් ඔඩිෂන්, බැට්ල් රවුන්ඩ් හරහා නොකවුට් රවුන්ඩ් එක දක්වා රැගෙන ආවා. එතනදි මට ඉවත් වෙන්න සිදු වුණත් ප්‍රථම වතාවට මෙවර හඳුන්වා දුන් කම්බැක් ස්ටේජ් සංකල්පය නිසා නැවතත් මට තරගයට අවතීර්ණ වෙන්න අවස්ථාව ලැබුණා. ජනප්‍රිය ගායන ශිල්පී සුපුන් පෙරේරාගේ පුහුණුවීම යටගේ නැවතත් වට දෙකක් ඉදිරියට එන්න ලැබුණා. අත්දැකීමක් ගන්න හිතාගෙන අයදුම් කළත් මේ තරම් දුර එන්න ලැබුණ එක මගේ වාසනාවක්. මේ ලබාගත් අත්දැකීම් හා පන්නරය මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක්. ඒක මගේ ගමනට ලොකු උත්තේජනයක් වගේම මගේ ජීවිතයේ ලොකු පරිවර්තනයක් කළා. මේ වනවිට මං මගේ ස්වතන්ත්‍ර නිර්මාණයක නියැළෙමින් ඉන්නේ.
ඔබ සංගීතය පිළිබඳ අධ්‍යයනයක් කරල තිබුණ ද?
මං බටහිර ශාස්ත්‍රීය සංගීතය හදාරපු කෙනෙක්. ඉන්දිකා උපමාලි මහත්මිය යටතේ කටහඬ පුහුණුවීම් කළා. ඇයගේ නිර්මාණවලටත් දායක වුණා. මං වැඩිපුර ආස වුණේ කේමදාස මාස්ටර්ගේ ඔපෙරා ශෛලියට. පස්සේ ලංකාවේ දක්ෂතම කටහඬ පුහුණු කරන්නියක් වන සෞන්දරී ඩේවිඩ් මහත්මිය යටතේත් පුහුණුවීම් ප්‍රගුණ කළා.
බ්ලයින්ඩ් ඔඩිෂන් එකේදි කෝච් කසුන් කල්හාර තෝරගන්න විශේෂත්වයක් තිබුණ ද?
කෝච්ලා තුන් දෙනෙක්ගේ කැමැත්ත මට ලැබුණා. ඒ තුන්දෙනාම මං ඉගෙන ගත් සංගීත ආරට ගිය අය. ඒ අතරින් මං කෝච් කසුන්ව තෝරගත්තා. ඒ මං පුංචි කාලෙ ඉඳන්ම ආස කළ සංගීතඥයා වගේම ගායකයා. මං ඒ ගත්ත තීරණය මගෙ තරගාවලිය පුරාවටම මං ගත්ත හොඳම තීරණය කියලා මං විශ්වාස කරනවා.
පමුදි කියන්නේ තරගාවලිය පුරාම වෙනස්ම ආරට ගිය කෙනෙක්. ඔබේ ගායනය වගේම ඉදිරිපත් කිරිමත් පාඨක සිත් ආකර්ෂණ කරගැනීමේ උපක්‍රමයක් වුණා. එය ඔබට අභියෝගයක් වුණේ නැද්ද?
මං ගායන ශෛලිය වගේම ඉදිරිපත් කිරීම ගැනත් විශේෂ අවධානයක් යොමු කළා. මට ඕන වුණේ විවෘත වේදිකාවේ හොඳ ගායිකාවක් සහ හොඳ ෆපෝමර් කෙනෙක් වෙන්න. ඒ වගේ ගායිකාවො ඉන්නෙ අතළොස්සයි. මං ඒ අවදානම ගන්න කැමති කෙනෙක්. ඒ වගේම අභියෝග හොයාගෙන ගිහින් කැමැත්තෙන්ම ඒවා භාරඅරන් අභියෝගවලට අභියෝග කරන කෙනෙක්. මට හැකියාවන් කිහිපයක්ම තියෙනවා. ඒ එකක්වත් අත්නොහැර ගායනයට වැඩි අවධානයක් හා නැඹුරුතාවක් දෙන්නයි මට ඕන.
ඔබ පොඩි කාලෙ ඉඳන්ම රංගනයට යොමු වුණු කෙනෙක්. කොහොම ද ඒ අවස්ථාව ලැබෙන්නේ?
මගේ තාත්තා දීපාල් අපෝන්සු. එයා කලාවට සම්බන්ධ කෙනෙක්. මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශනය වන අපි එක රෑනේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂණය වගේම තිර රචනයත් ඔහුගේ. මං පුංචි කාලෙ ඉඳන්ම එයාගේ නිර්මාණවලට සම්බන්ධ වුණා. ඊට අමතරව වෙස්ගත්තෝ රයිගම් ටෙලීස්හි සම්මානයට නිර්දේශ වුණු සුදත් රෝහණයන්ගේ මාණික්කා වත වගේ නාට්‍යවලටත් දායක වුණා. පී. නන්දසේන මහතාගේ සුළඟ ඔබ ළඟ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් ලැබුණා. එය ඉදිරියේදී විකාශයට නියමිතයි.
ඔබ මේ වනවිටත් ස්වාධීන රූපවාහිනියේ වෘත්තීමය නිවේදිකාවක්. ඔබේ නිවේදන හැකියාවට ඉඩක් ලැබුණ ආකාරයත් කියමු?
පොඩි කාලෙ ඉඳන්ම තිබුණු ලේඛන හැකියාවත් එක්ක තිරයට අවශ්‍ය පෙනුම වගේම කථිකත්වයත් මා තුළ තියෙනවා කියලා හොයාගත්තට පස්සේ තමයි මං නිවේදනය පැත්තට යොමුවෙන්නේ. මුලින්ම සියත යුවතිපති වැඩසටහන ඉදිරිපත් කළා. ප්‍රියාල් වීරසිංහ සහ චලනි සිරිවර්ධනගේ සහායෙන් තමයි ස්වාධීන රූපවාහිනියට සම්බන්ධවෙන්නේ. නවකයෙක් විදිහට මුලින්ම සූරිය විමන වගේ දැවැන්ත වැඩසටහනක් කරන්න අවස්ථාව ලැබුණා.
පිනි වියන, ශනිදා සාදය, මියුසික් @ 11, අයි.ටී.එන්. ලිය වරුණ, ලිය අභිමානී, සූර්ය මංගල්‍යය අයි.ටී.එන්. අවුරුදු කුමරා කුමරිය වගේ වැඩසටහන් ඉදිරිපත් කළා. දුලක්ෂි පෙරේරා, සිතාරා කළුආරච්චි, චලනි සිරිවර්ධන, ඉඳුනිල් දිසානායක වගේ ප්‍රවීණයන්ගෙන් ලොකු සහායක් ලැබුණා. එයාලා තමයි මගේ මොඩ්ල්ස්ල වුණේ. එයාලා මං ගැන විශ්වාස කරලා,මාව පිළිඅරන් ප්‍රමිතිගත පදනමක් හැදුවා. රූපවාහිනී මහගෙදරින් බිහිවුණු අයගේ ඒ ප්‍රමිතිය තියෙනවා.
මං හරිම සතුටින් හා ආඩම්බරයෙන් කියන්න කැමැතියි මගෙ ජීවිතේට මුණ ගැහුණු මට වැඩිපුරම දැනුණු ගැඹුරුම හා ශ්‍රේෂ්ඨතම ආදරය තමයි මං විවාහ කරගත්තෙ. ඔහු ඒෂාන් ජයවර්ධන. සාමාන්‍ය කෙනෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි තරම් ආදරයක්, ඉවසීමක්, කැපවීමක් හා දරාගැනීමක් ඔහු තුළ තියෙනවා. ඔහුත් කලාවට සම්බන්ධ කෙනෙක් නිසා මේ වෘත්තීය ගැන තේරුම් අරන් සියල්ල දරාගෙන මට ලබාදෙන සහාය තමයි මගේ ලොකුම පන්නරය.
මුලින්ම හිටියෙ මගේ තාත්තා විතරයි. දැන් මට ඒ ශක්තීන් දෙකම තියෙනවා.
නාමලී ගමගේ




No comments:
Post a Comment