සංගීතේ ඩ්‍රම්ස් කෙල්ල අමායා
ගායනයත් වාදනයත් එකට මුසුවූ විට බිහි වන්නේ හරි අපූරු සංගීත සංකලනයකි. එය එක් අයකුගේ නම් තවත් අගනේය. ගායිකාවකට එය දුලබ වුවත් ගායකයකු එවන් දස්කමක් දැක්වීම සාමාන්‍ය දෙයකි. ඩ්‍රම්ස් වාදනය යනු තරුණයන්ටම සින්න වූ වාදන භාණ්ඩයක් ලෙස ප්‍රචලිතය. එහි හිමිකාරීත්වය තරුණියක සතු වන්නේ නම් සැබෑවටම එහි සුවිශේෂීය. ඇයත් එවන් සුවිශේෂී හැකියාවක හිමිකාරියකි. ගායනය, වාදනය මෙන්ම රංගනය ද ඇය සතු වත්කම්ය. සචිනි රණවක නම් ඇය නොදන්නා ඕනෑම අයකු සංගීතේ ටෙලි නාට්‍යයේ අමායා හොඳින් දනී. එහි සුවිශේෂී චරිතයක් වන ඇය මහීගේ සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පිනියයි. මේ ඇගේ කතාවයි.
සචිනි කියන්නේ ගායිකාවක් ද රංගන ශිල්පිනියක් ද වාදන ශිල්පිනියක් ද කියල ඇහුවොත්?
ඔය චරිත තුනේම සංකලනයක් කියන්නත් පුළුවන්.
මුලින්ම ක්ෂේත්‍රයට පිවිසි ආකාරය ගැන කිව්වොත්?
මං සංගීත ක්ෂේත්‍රයට එන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනෙන්. ඊට පස්සෙ තමයි රංගනය පැත්තට යොමු වෙන්නේ. දෙරණ උපසභාපති ලක්සිරි සර් තමයි මගෙන් ඇහුවෙ මෙහෙම වැඩක් තියෙනවා, රඟපාන්න කැමති ද කියලා. මං රංගනයට යොමු වුණේ ඒ විදිහට. දිලූක ගුණතිලකගේ සසල කියන පොහොය දින කෙටි චිත්‍රපටයේ වළව් පැළැන්තියේ දියණියකගේ චරිතය තමයි මගේ ප්‍රථම රංගන අත්දැකීම වුණේ. ඒ වෙද්දි මට රංගනය ගැන කිසිම අත්දැකීමක් තිබුණෙ නෑ. ඒ නිසා ටිකක් අපහසු වුණා. ඩයලොග් දිගයි, මතක තියාගන්න අමාරුයි. අනික ඒකෙ කතා කරන භාෂාවත් ටිකක් වෙනස්. දිලූක අයියගෙන් ලොකු සහායක් ලැබුණා. ප්‍රමෝත් ගනේආරච්චි එක්ක මට වැඩ කරන්න වුණේ. මොකද අපි හොඳින් හඳුනන නිසා ඒකත් පහසුවක් වුණා. ගොඩක් අය කිව්වා අපි ඒක හොඳින් කළා කියලා. රණ්ඩු වෙන තැන් වුණත් ඇත්ත විදිහටම කළා කියලා බොහෝ දෙනා කිව්වා. ඊට පස්සෙ තමයි සංගීතය සඳහා ආරාධනා ලැබුණේ.
සංගීතේ ටෙලි නාට්‍යයේ අමායා කියන්නේ මහීගේ සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පිනිය. දකින අය හිතන්නේ ඒක රගපෑමට විතරක් කරන දෙයක් කියලා. ඇත්තටම ඔබට හැකියාවක් තියේ ද?
ඔව්. මං පුංචි කාලෙ ඉඳන්ම තබ්ලා, ඩ්‍රම්ස්වලට හරි ආසයි. නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඉන්න කොට අක්කලා ඒව ප්ලේ කරනවා බලාගෙන ඉන්නවා. කොහොමහරි මාව ස්කෝලෙ සංගීත කණ්ඩායමට ගත්තා ෂෙකර්ස් ප්ලේ කරන්න. පොඩි විවේකයක් ලැබෙන වෙලාවලදී මං තබ්ලා ගැන අක්කලාගෙන් පොඩි පොඩි දේවල් අහගන්නවා. ඊට පස්සේ මාව තබ්ලා වාදනයට ගත්තා. මගේ ආසාවයි, ගෙදරත් තබ්ලාවක් තිබුණ නිසායි අම්මා මාව සනත් නන්දසිරි සර්ගේ පන්තියට දැම්මා. පස්සේ අජිත් ඇලෝසියස් සර්ගෙනුත් ඉගෙන ගත්තා. නලීන් කස්මිර අයිය හිටියේ අපේ ගෙවල් ළඟ. තබ්ලාවේ මූලික දේවල් මට කියලා දුන්නේ එයා. කොළඹ විශාකා විද්‍යාලයට ආවට පස්සෙ තමයි ඩ්‍රම්ස් වාදනයට යොමු වුණේ. වීඩියෝ බලලා මමම ඉගෙන ගත්තා. දර්ශන රුවන් දිසානායක සර් අපිට පුහුණු කරන්න ආව වෙලාවක මාව ඉස්කෝලේ ඩ්‍රම්ස් වාදනයට ගත්තා. මූලික දේවල් කියලා දුන්නා. ඊට පස්සේ දිගටම ඩ්‍රම්ස් ප්ලේ කළා. මං මගේ උපාධියේ විශේෂ විෂයක් විදිහට ඩ්‍රම්ස් වාදනය හදාරනවා. මේ හැකියාව තමයි සංගීතේ අමායා වෙන්නත් සුදුසුකම වුණේ.
ඩ්‍රම්ස් වාදනය කරන අමායාට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩක් දෙනා හිතන්නේ මං නිකන් ඩ්‍රම්ස් වාදනය කරනවා වගේ රඟපානවා කියලා. මුණ ගැහුණම අහනවා ඔයා ඒ බොරුවට නේද ඩ්‍රම්ස් ගහනව වගේ ඉන්නෙ කියලා. ඒත් මං ගැන දන්න අය දන්නවා මට පුළුවන් කියලා. මේ දවස්වල සංගීත කණ්ඩාය පෙන්නන්නේ නැතුව ආදරය පැත්තට ටිකක් බර වෙලානේ. දැන් අහනවා මොකද ඩ්‍රම්ස් ගහන්න අමතක වෙලාද කියලා. ගොඩක් අය මාව හඳුන්වන්නෙත් අර සංගීතේ ඩ්‍රම්ස් ගහන අමායා කියලා. ඒ වගේ ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
රංගනයට යොමු වුණාට පස්සේ සචිනිට ගායනය පැත්ත අමතක වෙලාද?
ෂූටින් වැඩයි, මගෙ ඩිග්‍රියෙ වැඩයි එක්ක ගායනය පැත්ත ටිකක් අතපසු වුණා. මං මගේ යාළුවත් එක්ක කරපු ගීතයක් රිලීස් වුණා. ඒකත් නොහිතපු වෙලාවක සිද්ද වුණු වැඩක්. ඒකට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. තවත් වැඩක් පටන් ගත්තා ජනිත් ඉද්දමල්ගොඩ මියුසික් කරන ගීතයක්. ඒකත් ඉදිරියේ දී එන්න තියෙනවා. ඩිග්‍රියේ වැඩ ඉවර වුණ ගමන් ගායනය පැත්තට නැවත වැඩිපුර යොමුවෙනවා.
මේ දවස්වල අමායා දසුන්ගේ ආදරෙත් එක්කමනේ ඉන්නේ. සචිනිටත් එහෙම ආදරයක් ඇතිනේ. ඒ ගැනත් කියමු නේද?
ඔව්, මමත් ආදරවන්තියක්. ඒ ආදරේ මුණගැහුණෙත් හිතපු නැති විදිහට. මං කවදාවත් හිතුවෙ නෑ ඒ තරම් ආදරයක් මට ලැබේවි කියලා. මගේ රංගනයට වගේම ඩිග්‍රියේ වැඩවලටත් ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. එයා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නම් නෙවෙයි. අපි ඒ ගැන ඉදිරියේ දී කතා කරමු.
සචිනිගේ රංගනයට පෙම්වතාගෙන් තහංචියක් නැද්ද ?
එයා දැනගෙන හිටියා මං කලාවට සම්බන්ධ කෙනෙක් කියලා. එයා දන්නවා මං මගේ සීමාවේ ඉඳන් හැමදේම කරන්නේ කියලා. කලින් ඉඳන්ම මං කරන කැරැක්ටර් එක වගේම මං අඳින විදිහ, ඉන්න විදිහ ගැන එයා දැනන් හිටියා. එයා කියන්නේ ඔයා හොඳ දේ කරන්න. හොඳ දේ තෝරගන්න. හරි පරිස්සමෙන් මේ ෆීල්ඩ් එකේ ඉන්න කියලා.
නාමලී ගමගේ




No comments:
Post a Comment