නපුරුකම කියන්නෙත් රංගනයේ වෙනත් පැතිකඩක්
මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘පිච්ච මල සුවඳයි‘ ටෙලි නාට්‍යයේ රෝහිණී බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන චරිතයක්. ඒ ඇගේ කටකාර නපුරුකම නිසායි. ආදරණීය චරිත ආදරයෙන් වැලඳගන්නවා වගේම නපුරු චරිතවලට බණින එකත් එක්තරා විදියට ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තමයි. කිසියම් නළුවෙක් හෝ නිළියක් තමා රඟපාපු චරිතයක් නිසා ප්රේක්ෂකයන්ගෙන් බැණුම් අහනව කියන්නෙම එයා ඒ චරිතයට උපරිම සාධාරණයක් කළා කියන එකයි. පිච්ච මල සුවඳයි රෝහිණීත් එවන් චරිතයක්. ඉතින් මේ රෝහිණීට ජීවය දෙන්නේ දුෂී ප්‍රභා ඉලංගකෝන්. මෙතෙක් ඇය පැමිණි ගමන්මඟ අඛණ්ඩ නොවුණත් මේ වනවිට ඇය සාර්ථක නිළියක්.
“ මම සීතල බදුල්ලේ ඉපදී එහිම හැදී වැඩුණු කෙනෙක්. හාලි ඇළ සෙන්ට්‍රල් විදු පියසින් තමයි මං අධ්‍යාපනය හැදෑරුවේ. ඉස්කෝලෙ යන කාලේ ස්ටේජ් ඩ්‍රාමාවලට සම්බන්ධ වෙලා සමස්ත ලංකා, යෞවන සම්මාන උලෙළවල් නියෝජනය කර කුසලතා සම්මාන ලබලා තියෙනවා. පාසලේදී නාට්‍ය හා රංග කලාව විෂයක් විදියට හැදෑරුවා.
ඒත් ප්‍රසිද්ධ වේදිකාවේ මුල්වරට රංගන දායකත්වය ලබා දුන්නේ ප්‍රේක්ෂකයන් බොහෝ ආදරයෙන් වැලඳගත් ජනප්‍රිය වේදිකා නාට්‍යයක් වන ජයසේකර අපෝන්සුගේ ‘තටු’ නාට්‍යයට. ඒ සම්බන්ධය නිසාම ඔහුගේ සිනමා පටයකටත් ආරාධනා ලැබුණා. ඔහුගේ ‘ සීතා මං ආවා’ චිත්‍රපටය තමයි මගේ සිනමා ප්‍රවිශ්ටය. ඊට පස්සේ චන්දන එදිරිසිංහගේ ‘ෂෙලීනා’ හි පාරමී ලෙස උප ප්‍රධාන චරිතයක් ලැබුණා. ‘ගුත්තල’ කියල රජ කතාවක මල් කෙල්ලකගෙ චරිතයකුත් ලැබුණා. ඒක නම් තාම විකාශය වුණේ නැහැ.
වේදිකාව හරහා පළමුව සිනමාවට පිවිසීමත් ඇගේ විශේෂත්වයක්. බොහෝ දෙනෙකු වේදිකාව හරහා පුංචි තිරයට එද්දි ඇයට වාසනාව හිමි වුණා රිදී තිරය ස්පර්ශ කිරීමට. වේදිකාව, සිනමාව හරහා පුංචි තිරයටයි ඇගේ ආගමනය සිදුවුණේ. එය දුලබ දෙයක්.
“මං ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්නේ සිරස ‘තරු මංසල’ වැඩසටහන හරහා. තරු මංසල ජය ගැනීමෙන් පසු සිරසෙන් නිෂ්පාදනය කරන ටෙලි නාට්‍ය බොහොමයකට ආරාධනා ලැබුණා. මං බදුල්ලේ නිසා මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක නිතරම කොළඹ එන්න බැරි නිසා එසේ ලැබුණු බොහෝ අවස්ථා මඟ හැරුණා. ඊට කාලෙකට පස්සේ ලිලන්ත කුමාරසිරි අධ්‍යක්ෂණය කළ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වුණු ‘අපේක්ෂා‘ ටෙලි නාට්‍යයේ අංජුලාගේ චරිතය තමයි මාව නැවතත් පුංචි තිරයට ගෙනාවේ. ‘මංදාරමෙන් එහා‘ ටෙලි නාට්‍යයේ තමයි උප ප්‍රධාන ද්විත්ව චරිතයක් ලැබුණේ.
මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘පිච්ච මල සුවඳයි‘ හි රෝහිණී නිසා මුළු රටක්ම මාව හඳුනගත්තා. කොටින්ම ඒ චරිතෙ තියෙන නපුරුකම නිසා මඟතොටේදි හමුවන රසිකයන් මට බණින අවස්ථා එමටයි. ඉතින් මේ දවස්වල ප්රේක්ෂකයන්ගෙන් බැණුම් අහගෙනම ඉදිරියට යනවා.
VTV ඔස්සේ විකාශය වන ‘සිත්බැඳි දනව්වේ‘ සිසිලියානාත් බොහෝ ප්‍රතිචාර ලබන වෙනස්ම චරිතයක්. එහි මට ආදරය කරන්න සිද්ද වෙන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් වගේ ප්‍රවීණයෙකුට. මුලදි ටිකක් අපහසු වුණා. ඒත් ඔහුගේ තියෙන දක්ෂතාව නිසා තමයි මාව ඒ චරිතය සාර්ථකව කරන්න පෙලඹුවේ. ප්‍රවීණත්වයෙන් ආධුනික අපට ලබා ගත හැකි දේ බොහෝය.
2015 වසරේ මං හෙද වෘත්තිය සඳහා විදෙස්ගත වුණා. අවුරුද්දකින් වගේ ලංකාවට ආවේ නැවත යන්න බලාගෙනයි. නමුත් යන්න බැරි වුණා. ඊට පස්සෙ ආයිමත් මට රංගනයට අවස්ථාව ලැබුණා. ඒ දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වුණු සුරංග සතුරුසිංහගේ ‘නාටක මාරයි, නවයහ මාරයි’ කියන කොමඩි ටෙලිය ඔස්සේ. ඒකේ අවුරුදු එකහමාරක් විතර රඟපෑවා. ඒකෙ කොමඩි ගතිය නිසා මට සීරියස් ඒවා රඟපෑමේදී පොඩි අපහසුතාවයක් දැනුණා. මං ආසයි සීරියස් ඩ්‍රාමාවලට. ඒවගේම රෙදි හැට්ට අඳින පැරණි ගැමි චරිතයක් රඟපෑමේ සිහිනයක් තියෙනවා.
මේ දවස්වල මං අනෝජා වීරසිංහ මහත්මියගේ ‘අභින’ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නවා. එහිදී අපට රඟපාන ඉරියවු වගේම, කටහඬ පාලනය වගේ රංගනයට අවශ්‍ය බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්. මේ නිසා ඉදිරියේ දී තවත් හොඳින් දක්ෂතා පෙන්වන්න පුළුවන් වේවි.”
සිසිලියානා ආදරය කිරීමට පෙලඹුණේ සිය රංගන සගයාගේ උදව්වෙන්. දුෂීට ආදරය හොයල දීල තියෙන්නේත් තම මවුපියන්. එයත් විෂම ක්ෂේත්‍ර දෙකක ප්‍රේමයක්.
‘‘ ආදරයට මාත් ආදරෙයි. ඒක ප්‍රේම සම්බන්ධයකින් පටන් ගත්තත්, ප්‍රපෝසල් එකකින් පටන් ගත්තත් අවංකකම, හොඳ ගතිගුණ තියේනම් විවාහයට බාධාවක් නෙවෙයි. එයා වෛද්‍යවරයෙක්. ලබන අවුරුද්දෙ විවාහ විමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. විවාහ වුණොත් නම් විදෙස්ගත වීමට සිදුවේවි. ඒත් මං කලාව අතාරින්නෙ නෑ. ඉඩ ලැබෙන විදියට හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.
නාමලී ගමගේ




Lassanai akki
ReplyDelete