කලාවට දායාද කළ සොබා දහමේ අපූරු නිමවුම
නිවුන් දරුවන් කියන්නේ සොබාදහමේ අපූර්ව නිර්මාණයක්. එයත් පෙනුමෙන් වෙන්කර හඳුනාගැනීමට නොහැකි තරම් නම් තවත් අපූරුයි නේද? අද අපේ කතාබහට එක්කර ගත්තේ එවන් සුන්දර නිමැවුමක්. ඒ මේ දිනවල දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වන මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යයේ නිල්නෙතු සහ පිනිමුතු. එසේත් නැත්නම් පසුගියදා නිමාවට පත්වුණු සිත් ටෙලි නාට්‍යයේ ශයිනි සහ අංජනා. අද බොහෝ දෙනාගේ අවධානයට ලක්වෙලා ඉන්න ඔවුන් නමින් අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කණුෂ්කි ප්‍රේමචන්ද්‍ර.
“සංජුල් දිවාරත්නගේ සිත් ටෙලි නාට්‍යය පසුගිය දිනවල දෙරණ ඔස්සේ විකාශය වුණා. රූගත කිරීමක් කියන්නේ මොකක්ද කියලා අපි හඳුනගත්තේ සිත් ටෙලි නාට්‍යයෙන්. ඒ වෙනකල් අපි දැකලවත් තිබුණෙ නෑ. මුලින්ම සිත් ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණත් විකාශය වුණේ මල් පිපෙන කාලේ. ඒත් දෙරණෙමයි. සිත් රූගත කරන අතරෙදිමයි තුෂාර තෙන්නකෝන්ගේ මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුණේ. එහි නිල්නෙතු සහ පිනිමුතු කියන නිවුන් චරිත ඔස්සේ තමයි ප්‍රේක්ෂකයා අපි දෙන්නව මුලින්ම හඳුනගත්තේ. දැන් අනුයි, කණුයි කියන නම් අමතක වෙන තරමටම අපි දෙන්න නෙතුයි, මුතුයි වෙලා.“ එහෙම කියාගෙන කතාවට මුලපිරුවේ අනුෂ්කි. ඒ කියන්නේ අක්කා.
ඔව්. හැමෝම අපිට කතා කරන්නේ ඒ නම්වලින්. දැන් අපි දෙන්නත් අනුයි කණුයි කියනවට වඩා නෙතූයි මුතුයි කියන නම් දෙකට ආසයි. දැන් අපි ඒ දෙන්නගෙ සහෝදරියො වගේ දැනෙනවා. එහෙම කියන්නේ කණුෂ්කි.
කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වීමත් අහම්බෙන් සිදුවූවක් බවයි ඔවුන් පැවසුවේ.
උසස් පෙළ කරලා ගෙදර ඉන්න කාලේ අපේ නෑදෑයොයි, ගුරුවරුයි නිතරම අපට කියනවා ඇයි ඔය දෙන්න රඟපාන්න යන්නෙ නැත්තෙ. ඔය දෙන්න රඟපාන්න තමයි ගැළපෙන්නෙ කියලා. නිතරම ඕකම ඇහෙද්දි අපි දෙන්නටත් හිතුණ එක්කෙනකුට හරි එහෙම චාන්ස් එකක් ලැබුණ නම් පස්සෙ අනික් කෙනාවත් සම්බන්ධ කරගන්න පුළුවන් නේද කියලා. ඉන්දියාවේ ඉන්නවා ඩිංකි බිංකි කියලා නිවුන්නු. එයාල ගොඩක් ජනප්‍රියයි. එයාල දකිද්දි අපිටත් හිතුණා ලංකාවෙත් නිවුන්නුන්ගෙ ටෙලි නාට්‍යයක් කවුරුහරි කළොත් අපි දෙන්නටත් සම්බන්ධ වෙන්න පුළුවන් නේද කියලා. ඒ වෙද්දි අපේ රටේ කලාවෙ එහෙම දෙයක් තිබුණෙ නෑ.
ඔව් අක්කියි මායි නිතරම ඕක ගැන කතා වුණා. අපිටත් හිතාගන්න බැරි වෙලාවක සංජය වෙදආරච්චි අයියගෙන් ආරාධනාවක් ලැබුණා. අපි මෙහෙම නිවුන්නු ඉන්න ටෙලි නාට්‍යයක් කරනවා ඔය දෙන්න සම්බන්ධ වෙන්න කැමති ද කියලා. අපිට හිතාගන්නත් බැරි වුණා. පොඩි චකිතයක් තිබුණත් අපි දෙන්න භාරගත්තා. අපි අන්තිමට හිතපු ස්ටෙප් එක පළමු එක වුණා. ප්‍රධාන චරිත දෙකක්ම ලැබුණා. පිළිතුර සම්පූර්ණ කළේ කණුෂ්කි.
පාසල් වේදිකාවේ නර්තනයට අතිදක්ෂයන් වුණත් රංගනය ගැන දෙදෙනාට තිබුණේ අල්ප දැනුමක් බවයි අනුෂ්කි පැවසුවේ.
ස්කෝලෙ යන කාලෙ අපි දෙන්න ගොඩක් දක්ෂ වුණේ නර්තනයට. පහ වසර ඉඳලම අම්මි අපිව නර්තනයට යොමු කළා. අපේ පාසල වුණේ ගම්පහ රත්නාවලී බාලිකාව. නර්තන අංශයේ කැපී පෙනෙන චරිත දෙකක් වුණ නිසා නර්තනයෙන් ඉදිරියට යන්නයි අපි බලාපොරොත්තු වුණේ. රංගනය අපට නුහුරු දෙයක් වුණත් පාසල් වේදිකාවෙදි ඒ ගුරුවරුන්ට අපි දෙන්න නැතුවම බැරි වුණා. එක වතාවක් ‘සකුන්තලා‘ කියන සංස්කෘත නාට්‍යයේ ප්‍රියංවදා සහ අනුසියා කියන චරිත දෙක අපිට සමස්ත ලංකා ප්‍රථමස්ථානය වෙලා කුසලතා සම්මාන දෙකකුත් හිමිකර දුන්නා. එදා නම් අපිට හිතුණා රංගනය හැදෑරුව නම් හොඳයි කියලා. එදා ඉඳන් තමයි මටයි කණූටයි රංගනයට ආසාව ඇති වුණේ.
රංගනය ගැන හසරක් නොදැන ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු ඔවුන් තම ප්‍රථම රංගන අභියෝගය ජයගත් අයුරු සඳහන් කළේ මෙහෙමයි.
“ සංජය වෙදආරච්චි අයියා සිත් ටෙලි නාට්‍යයට ආරාධනා කරද්දි අපි දැනන් හිටියෙ නෑ කැමරාවට මුහුණ දෙන්නේ කොහොමද කියලවත්. ඩාන්සින්වලදි සින්දුවක් දාල ඒකට නටන එක වගේ නෙවෙයිනෙ. මේකෙදි ස්ටෙප් බයි ස්ටෙප් ඇක්ෂන් කියන්න කලින් යනවනේ. අධ්‍යක්ෂ ඇතුළු හැමෝම අපට ලොකු සහායක් දුන්නා. මුලදි එයාලට අපිව පැටලුණා. පස්සෙ චරිතවලට අනුගත වෙලා කොස්ටියුම්වලින් දෙන්නව වෙන්කරල අඳුනගන්න පුළුවන් වුණා.
මුල්ම අත්දැකීම ලැබුණෙ සිත් ටෙලි නාට්‍යයෙන්. ඒකෙ මගේ චරිතය ටිකක් සෝෂල් විදියට අඳින පලඳින කටකාර, දරුණු වගේ චරිතයක්. නංගිට තිබුණේ අහිංසක ගැමි චරිතයක්. ස්ක්‍රිප්ට් එක කියවන් යද්දි මට බය හිතුණා මට මේක කරගන්න පුළුවන් වේද කියලත්. විකාශය වුණු කොටස්වලට වඩා දරුණු වැඩ කරන්න තිබුණේ ඉදිරියේ විකාශය වෙන්න තිබුණු කොටස්වල. කෙල්ලෙකුට මේ වගේ දේවල් කරන්න පුළුවන් ද කියලත් මට හිතුණා.
ඔව්. ස්ක්‍රිප්ට් එක කියවද්දි අක්කිගෙ චරිතෙ තිබුණ දේවල් නිසා අපි දෙන්නම බය වුණා. මේක විකාශය වෙද්දි අපි දෙන්නට මොන වගේ අත්දැකීම්වලට මුහුණ දෙන්න වෙයිද කියලා. කොහොම හරි අපි මේ කෙටි කාලය තුළ යම් තැනක ඉන්නවා නම් ඒකෙ ගෞරවය හිමිවෙන්න ඕනෙ ඒ කතා දෙකේම අධ්‍යක්ෂකවරු දෙපළට. මේ වෙද්දි තවත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. කණුෂ්කිත් කතාවට සම්බන්ධ වුණේ අක්කට අමතක වුණ තැන් මතක් කරමින්.
අනුෂ්කියි, කණුෂ්කියි දෙන්නම කෙනෙකුට දුටු පමණින් අඳුනගන්න බැරි තරමටම සමානයි. පුංචි කාලෙත් ඔය වගේ අත්දැකීම්වලට මුහුණ දීල ඇති ඕනතරම්. අපි ඒ ගැනත් විමසුවා.
“අම්මිට ගෙදර අයට නම් අඳුනගන්න පුළුවන්. ඒත් පිට කෙනෙක්ට එක පාරටම අඳුනගන්න බෑ. ගොඩක් දෙනා හිතන්නේ මේ ටෙලි ඩ්‍රාමාවල ඉන්නෙ එක්කෙනාම කියලා. අපි දෙන්නගෙ රූපෙ විතරක් නෙවෙයි හැකියාවන් පවා එක වගේ. නංගි කණූගේ ඇහැ ළඟ පොඩි උපන් ලපයක් තියෙනවා. නර්තනයේදීත් එක වගේ දක්ෂතා තියෙන්නේ. දැනට අපි දෙන්න සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා.
ගුරුවරුන්ට තමයි අපි දෙන්නව ගොඩක්ම පැටලුණේ. ගොඩක් දවස්වලට එක්කෙනාගෙම පොත බලන අවස්ථා තිබුණා. රිපෝට් කාඩ් දෙන්න අම්මිව ගෙන්නුවම එක්කෙනාගෙම ලකුණු දෙනවා. ඒ අනුෂ්කි.
ඇයි අක්කි ඊස්ටර්න් බෑන්ඩ් එකේ කතාව යැයි කියමින් අපේ කතාවට සම්බන්ධ වුණ කණුෂ්කි අක්කිට අමතක වුණු ඒ සිද්ධිය මතක් කළා.
මං කැමතිවෙලා හිටියේ වෙස්ටර්න් බෑන්ඩ් එකට යන්න. ඒත් අන්තිමට දෙන්නගෙම කැමැත්තෙන් ඊස්ටර්න් බෑන්ඩ් එකට සම්බන්ධ වුණා. ඒකට ළමයි ගත්තේ දක්ෂතා අනුව තෝරලා. පළවෙනි දවසෙ අක්කිට එන්න බැරි වුණා. මාව තම්මැට්ටමට තෝර ගත්තා. ඊළඟ දවසේ කොහොමහරි මට යන්න බැරි වුණා. අක්කි ගිහින් ඉන්ස්ටෘමන්ට් එකක් දෙනකන් ඉඳලා. ටීචර් කෑගහලා. ඇයි ඔයාට ඊයෙ තම්මැට්ටම දුන්න නේද? යන්න යන්න ගිහින් ඒක ගන්න කියලා. ඒ පාර අක්කි කියලා ටීචර් මං නෙවේ ඒ නංගි කියලා. හා හා කමක් නෑ ඔයත් තම්මැට්ටමක් ගන්න කියල එයාටත් දීලා.
මේ හැඩකාර අක්ක නඟාලාට තවත් අක්කලා හතර දෙනෙක් ඉන්නවලු. ගැහැනු දරුවන්ම හය දෙනෙක් ඉන්න පවුලක් කොතරම් සුන්දර ඇද්ද?
“අපේ තාත්තා අපි දෙන්න පුංචි කාලෙදිමයි අසනීපවෙලා නැතිවෙලා තියෙන්නේ. අම්ම තමයි අපි හය දෙනාටම හොඳට උගන්නලා මේ තත්ත්වෙට ගත්තෙ. අපිට එක ළමයෙක් එක්ක තනි වුණොත් ජීවිතේ ගෙනියන්නෙ කොහොමද කියලා හිතාගන්නවත් බැරි කොට අම්මි හයක් එක්ක හිතාගන්නවත් බෑ. අපි අදටත් අහනවා අම්මිට ඒ ශක්තිය කොහෙන්ද ආවෙ කියලා. එයා කියන්නේ. තාත්තා නෑ කියලා මට ඔයාලව අතාරින්න බෑනෙ. කොහේ හරි ඉඳන් එයා ඔයාලා දිහා බලාගෙන ඇති කියලා. මං ජීවිතේ දැකපු ශක්තිමත්ම ගැහැනිය තමයි අපේ අම්මි. අපි දෙන්න විතරයි පවුලෙන් කලාවට සම්බන්ධ. අක්කිලා යටතේ හැදුණු නිසාද මන්ද අපි දෙන්න එක වගේ. එයාලා හතර දෙනා එක වගේ. ලොකු අක්කි තමයි අපි දෙන්නව මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යයට සම්බන්ධ කළෙත්. අපේ තාත්තිත් ගොඩක් කලාවට ළැදි කෙනෙක්. ඒ දවස්වල චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා තියෙනවා කලාවට තියෙන ආසාවට. අද එයා හිටිය නම් අපි දෙන්න දිහා බලලා කොතරම් සතුටු වෙයිද? අනුෂ්කි එහෙම කිව්වේ දුක්බර හඬකින්.
අම්මි තමයි අපි දෙන්නව හැම ඉවෙන්ට් එකකටම ඇදගෙන යන්නේ. 2012 දී දෙරණ ලිට්ල් ස්ටාර් තරගයටත් අපිව යොමු කළා. ගොඩක් දේවල් අම්මිගෙ කැමැත්තට වෙච්ච දේවල්. එයා සතුටු කරන්න හිතාගෙන කරපු දේවල්. ඒත් තාම වැරදිලා නම් නෑ. අක්කගෙ කතාවෙ අඩු පාඩු පිරෙව්වෙ නංගී.
යොවුන් වියේ එළිපත්තේ සිටින ඔවුන් ආදරය, විවාහය ගැන දරන්නේ මෙවන් අදහසක්. මුලින්ම පිළිතුර ලැබුණේ අනුෂ්කිගෙන්.
“ ආදරය කියන්නේ සුන්දර හැඟීමක්. ඒත් අපිට හරියන ආදරයක් දැන්ම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. මං හිතන විදියට අවු. 25 විතර වෙනකල් හම්බවෙන්න ඕන ගෙදර, පවුලෙන් ලැබෙන ආදරේ. පිරිමි පාර්ශ්වයෙන් ලැබෙන ආදරේ අවු. 25න් පස්සේ කසාදය වෙනුවෙන්ම ලැබෙනව නම් හොඳයි කියලයි මට හිතෙන්නෙ. ගෙදරින් නම් කැමති අපි වගේම දෙන්නෙක් ලැබෙනව නම්. එකම දවසෙ විවාහය කරමු කියලා තමයි එයාලා කියන්නේ. ඒත් ඉතින් කියන්න බෑනෙ. හම්බ වෙන දෙන්න කොහොම වේවිද කියලා.
තාම අපි ඉගෙන ගන්න නිසා මටත් ඒ ගැන ලොකු කැමැත්තක්, අයිඩියා එකක් නෑ. එහෙම කිව්වේ කණුෂ්කි. කවදාහරි සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන්න අවු. 24න් පස්සෙ වගේ ගෙදරින් හොයලා දෙන කෙනෙක් හරි මං හොයාගන්න කෙනෙක් ගැන හරි හිතනවා. කොහොම වුණත් එයා තමන්ගෙ උත්සාහයෙන් දියුණු වෙන සාර්ථක කෙනෙක් වෙන්න ඕන. මේ වයසෙදි එහෙම කෙනෙක් ලැබේවි කියලා නම් මං හිතන්නේ නෑ.
නාමලී ගමගේ





No comments:
Post a Comment