Wednesday, March 8, 2023


       එතෙර සම්මාන ලැබූ මෙතෙර මාධ්‍යවේදීයා මැණික්දිවෙල


 පසුගිය සැප්තැම්බර්
22 වැනිදා බංග්ලාදේශයේ ඩකා නුවර සොනගාල් හෝටලයේදී රටවල් 8ක නියෝජනයෙන් පැවැති දකුණු ආසියානූ ව්‍යාපාරික සම්මාන උලෙළේ දී (SAPS) දකුණු ආසියාවේ හොඳම ගවේෂණාත්මක පුවත සහ හොඳම ආර්ථික සංවර්ධන මූලෝපායික පුවත සඳහා සම්මාන ද්විත්වයම හිමිකර ගත්  මාධ්‍යවේදියා වූ ඔහු ගාමිණි මැණික්දිවෙලය. අන්තර්ජාතික වශයෙන් සම්මාන ද්විත්වයක් මාධ්‍ය අංශය හිමි කරගත් පළමු අවස්ථාව මෙය වන අතර පුවත් අන්තර්ගතය හරහා ශ්‍රී ලංකාව මුහුණපා සිටින ප්‍රබල ආර්ථික අර්බුදයට පිළියම් සංකල්පයක් ඉදිරිපත් කිරීමට ඔහු ගත් උත්සාහය ඇගයිමට ලක්වීමම ආඩම්බරයකි. නියෝජිත රටවල් සියල්ල අභිබවා යමින් එකී ආඩම්බරය අප රටට හිමිකර දුන් ඔහු මින් පෙර ද මෙරට දී සම්මාන කිහිපයක්ම හිමිකරගෙන තිබීම විශේෂිතය.

සේයා ඝාතනය වාර්තාකරණයෙන් විනයගරුකම මාධ්‍යවේදියාට හිමි සම්මානය, මාධ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා සිදුකළ සේවාව වෙනුවෙන් මාස්කෝ සම්මානය ද ඒ අතර වේ.

2009 වසරේ සිට ශ්‍රී ලංකා රූපවාහිණි සංස්ථාවේ සහකාර නිෂ්පාදකවරයකු ලෙස සේවය කරන ඔහු අද වන විට කාගේත් කතාබහට ලක්වන චරිතයක් බවට පත්වී ඇත.

පවුලේ පස්වැනියා වන මැණික් සිය වෘත්තීය ලෙස තෝරාගන්නේ මාධ්‍යකරණයයි.  
හොරතල් කුමාර බංඩාර විදුහලෙන් සහ මැණික්දිවෙල ජාතික පාසලෙන් මුලික අධ්‍යාපනය ලැබූ ඔහු උසස් අධ්‍යාපනය ලබන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙනි. ඊට අමතරව කැලණිය හා කොළඹ විශ්ව විද්‍යාලයේද විද්‍යාර්ථියකු වන ඔහු selinus  විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිලාභියෙකි. ලැබූ සම්මාන ද්විත්වය පිළිබඳ  ඔහු අප හා පැවසුවේ මෙවන් අදහසකි.


මේ සම්මානවලට පාදක වන්නේ කොවිඩ් සමයේ මුල් භාගයේ මා කළ ගවේෂණයක්. ඒකට මූලික සංකල්පය වුණේ පොල් පර්යේෂණ ආයතනයේ සභාපති සාරංග අලහප්පෙරුමගේ අතුරේ යාම සඳහා ඉදිරිපත් වන අයට NVQ සහතිකයක් ලබා දීම පිළිබඳ පුවත.  ඕන නම් මට තිබුණා ඒක ගැන තත්පර 20ක ප්‍රවෘත්තියක් හදලා දාන්න. නමුත් මට ඕන වුණේ ඊට වඩා දෙයක් කරන්න. අපේ රටේ අපනයන ආදායමෙන් 60%ක් ම ලබාදෙන්නේ පොල් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන. ඒ කියන්නේ ඩොලර් ගේන ප්‍රධාන ක්‍රමයක්.  පොල් ආශ්‍රිතව අද වන විට විවිධ නිෂ්පාදන කරනවා. නමුත් ශ්‍රමිකයෝ හිඟයි. වෙන රටවල සාම්ප්‍රදායික කර්මාන්ත, තාක්ෂණයත් එක්ක ඉදිරියට යද්දි අපේ රටේ ඒ කර්මාන්ත නැතිවෙලා යන තත්ත්වයට පත්වෙලා. මට හිතුණා අපේ

සාම්ප්‍රදායික රැකියාවක් වන අතුරේ  යාමට නව තාක්ෂණ ක්‍රම පෙන්නලා දීල පාරම්පරික දැනුම, පිළිගැනීම යන සංකල්ප මේකට ඉදිරිපත් කරලා, දියුණු වෙන ලෝකයත් එක්ක ඉදිරියට යවන්න ඕන කියන එක වටහා දෙන්න. අතුරේ යන කෙනෙකුගේ මාසික ආදායම බැලුවොත් ලක්ෂ එකහමාරකට ආසන්නයි. රැකියා කාලය උපරිම පැය දෙකක් වගේ. එක ගහකින් නැගල ගස් 40කට විතර ගිහින් තමයි බහින්නේ. ෆියුචර් අයිටම් එකක් විදියට ලුනුවිල ප්‍රදේශයේ හිටපු එකම මල් කපන පුද්ගලයා යොදා ගෙන ගස්වලට යවලා ඒකෙ තාක්ෂණික ක්‍රමවේද, පාරම්පරික දැනුම, පිළිගැනීම යන සංකල්ප ගැන කතා කරමින් මේක දියුණු වෙන ලෝකයත් එක්ක ඉදිරියට යායුතුයි කියන එක අරමුණු කරගෙන සාම්ප්‍රදායිකත්වයේ සිට නූතනත්වය දක්වා කියන සංකල්පය ඔස්සේ යමින් තමයි මේ පුවත නිර්මාණය කළේ. එය සැලකිල්ලට ගෙන තමයි දකුණු ආසියාවේ හොඳම ගවේෂණාත්මක පුවත් වාර්තාකරණයට හිමි  සම්මානය අතුරේ යාමකියන පුවතට ලැබුණේ.
හොඳම ආර්ථික සංවර්ධන මූලෝපායික පුවතට හිමි සම්මානය සඳහා ඩොලර් තැඹිලි කියන පුවත හේතු වුණා. මේ සඳහා මූලික තොරතුරු ලබාගත්තේ පොල් පර්යේෂණායතනයෙන්. ඔවුන් මට ලොකු සහායක් ලබා දුන්නා. එහිදී මට දැනගන්න ලැබුණා රතු තැඹිලි අපේ රටටම ආවේණික දෙයක් කියලා. සාමාන්‍යයෙන් තැඹිලි පොකුරක ගෙඩි 80/90 විතර තියෙනවා.

ගමේ ගොඩේ තුට්ටුවට දෙකට අලෙවි වන මේ අනර්ඝ පානය අපනයනය කළොත් ඩොලර් කුට්ටි පිටින් ගේන්න පුළුවන්. ඒත් මේක පිටරට යවන ක්‍රමවේදය ගැටලුවක්. පොල් පර්යේෂණායතනයේ මහාචාර්ය නයනානන්ද ළඟ මේ සඳහා පිළියමක් තිබුණා. සාමාන්‍යයෙන් තැඹිලි ගෙඩියක් තැලීමක් පොඩිවීමක් නැත්නනම් කිසිම ගැටලුවක් නැතුව  සති තුනක් විතර තියාගන්න පුළුවන්. ඔය පිටරටින් ඇපල් ගෙන්වන තාක්ෂණික ක්‍රමවේදය මේ සඳහා යොදා ගතහොත් අපට තැඹිලිත් පිටරට යවන්න පුළුවන්. ලංකාවේ ආයෝජකයන් කිහිප දෙනෙක් මේ සඳහා උත්සාහ කරලා

තිබුණා. පිටරටවල තැඹිලි ගෙඩියක් අලෙවි වන්නේ ඩොලර් 6/7ක් අතරේ. ශ්‍රී ලංකා මුදලින් රු. 2500ක් 3000ක් වගේ. ඩොලර් ගහක් ගෙදර තියාගෙන ඇයි අපි ඒකෙන් ප්‍රයෝජනයක් නොගන්නේ. මේ දේ සැලකිල්ලට අරන් අපේ රටේ හිස් ඉඩම්වල තැඹිලි වගා කරලා, ගමේ ගොඩේ තරුණ පිරිසට හොඳ ව්‍යවසායකයෙක් වෙන්න  අවස්ථාවක් දීලා, අපේ රටේ ආර්ථික අර්බුදයට පිළියමක් දිය හැකියි. මෙන්න මේක ගැන මං කතා කරන්න උත්සාහ කළා ඩොලර් තැඹිලි පුවතින්.
කෙසේ හෝ මා ඉදිරිපත් කළ පුවත් දෙකටම සම්මාන හිමිවීම සතුටක්. ඒ වගේම මම ඒ කියන්න උත්සාහ කළ දේ තේරුම් ගෙන ආර්ථිකය නගා සිටුවීමට යමෙක් උත්සාහ දරණවා නම් ඒක තමයි මම ලබන ලොකුම ජයග්‍රහණය.
 
 
නාමලී ගමගේ

 






1 comment:

            ශ්‍රී ලංකා -ඉන්දීය කලාපීය මිතුදමට සේතුවක් සේ පිදෙන                                      DRDගේ  ‘සංජීවනී ලේ ආ රේ‘   එකම ලේ ධාතු...