ගායනයෙන් කලාවට පිවිසි ඔහුට රංගනය අහඹුවක්
රියැලිටි කලාව උඩියටිකුරු කළ කිහිප දෙනා අතුරින් ඉහළින්ම වැජඹෙන නමක් තමයි රවීන් කණිෂ්ක කියන්නේ. යෞවනයට පමණක් සීමා නොවී වැඩිහිටි පරම්පරාවද උන්මාදයට පත්කරන මියුරු හඩක් හිමි රවින්ට තමාට ජනප්‍රියත්වය හිමිකර දුන් එවැනිම වැඩසටනක නිවේදන කටයුතු කිරීමට අවස්ථාව ලැබීමත් දෛවයෙන් හිමිවූ ත්‍යාගයක්. මේ වනවිට රංගන ක්ෂේත්රය ද ආක්‍රමණය කර ඇති රවීන් ඉන් ඔබ්බට යමින් නර්ථනයෙනුත් ප්‍රේක්ෂක සිත් ඇඳ බැඳ ගැනීමට සමත්වී තිබීම ඔහු මල්ටි ටැලන්ට් කොල්ලෙක් ලෙස හැඳින්වීමට සුදුසුකම් සපිරීමක් බඳුයි.
රියැලිටි වැඩසටහනක දෙවැනි ස්ථානය දිනාගත් මේ හුරුබුහුටි කොල්ලා තුළ දක්ෂතා රැසක් සැඟව තිබෙන බව ඔහුද නොදැන සිටින්නට ඇත. ගීත ගායනයේ දී ඔහු ගීතයට සමවදී. රංගනයේ දී චරිතයෙන් වෙන්කරගැනීමට නොහැකි ලෙස ඔහු එයට බද්ධ වෙයි. ගායනය හැරුණු කොට මේ කිසිවක් ඔහු සහජයෙන් ගෙනා බවට ඔහු තුළ සාක්ෂි නොමැති වීමත් ඔහුගේ විශේෂත්වයකි.
“මම මේ ක්ෂේත්රය හඳුනගන්නේ ගායන රියැලිටි වැඩසටහනක දෙවැනි ස්ථානයට පත්වෙමින්. මට ජයග්‍රාහී කිරුළ නොලැබුණත් මේ ලැබූ ජයෙන් මට ලැබුණු දේවල් බොහෝමයි. ගායනය, සංගීතය කියන්නේ මගේ ආත්මය වගේ. ඒකේ කතා දෙකක් නෑ. ඒතරමටම මං ඒ හා බද්ධවෙලයි ඉන්නේ. ඒත් සංගීත ක්ෂේත්රය ඇතැම් දේවල් යන රටාව ගැන නම් කලකිරීමක්, ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මොකද සමහරු පිළිගන්නේ වචන ටිකක් වේගෙන් කියාගෙන ගියාම ඒක රැප් එකක් කියලා. තාරුණ්‍යයම බේස් කරගෙන කරන ඒවා තමයි වැඩිපුරම තියෙන්නේ. කොල්ලො කෙල්ලො කැමති නම් හරි ඒක තමයි හිට් කියලා හිතන මට්ටමක් අද තියෙන්නේ. ඉස්සර සින්දු හදවතටයි දැනුණෙ. හැමෝම ගැන නෙවෙයි මං මේ කියන්නේ. සමහර ඒවා තියෙනවා මමත් රසවිඳිනවා. නමුත් මාව හැදිල තියෙන, හදල තියෙන සංගීත රටාවක් තියෙනවා. මට ඉන්නවා ඉලක්කගත ප්‍රේක්ෂක පිරිසක්. ඉතින් ඒ අය වෙනුවෙන් හොඳ දෙයක් කරන්න ඕන.
කොරෝනා සමයත් එකක් ලැබුණු විවේකයේ දී නිදහසේ නිර්මාණ කිහිපයක්ම කරගන්න ලැබුණා. මගේ සින්දු 10ක් විතර එළියට දාන්න තියෙනවා. අවස්ථාව බලලා එකින් එක දාන්න හිතන් ඉන්නේ.”
රවීන් ඇත්තටම රංගනයට ආධුනිකයෙක්දෝ කියලා ප්‍රශ්නාර්ථයක් ඇති වන තරමටම ඔහුගේ රංගනය තාත්විකයි. කෙළලොල්කම වගේම සීරියස් බවත් ඔහුට මැවෙන්නේ නිරායාසයෙන්. උපහාසාත්මක බව හරි අපූරුවට ඉස්මතු කරන රවීන්ට කොමඩිවලටත් මනා හැකියාවක් ඇති බව පැහැදිලියි. දෙවැනි ඉනිමේ අනුහස් මේ සියල්ලේම සංකලනයක්. නුදුරේදීම නිමාවට පත්වීමට නියමිත දෙවැනි ඉනිමටත් වඩා ජනප්‍රියත්වයට පත්වේයැයි සිතන අලුත් නිර්මාණයකින් හමුවීමට බලාපොරොත්තුවෙනුයි රවීන් ඉන්නෙ.
“මං දැනන් හිටියෙ ගායනය ගැන විතරයි. අනෙක් හැකියාවන් මා තුළින් ඉස්මතු කරගත් ඒවා. රංගනය වෙනස්ම විදියට ලැබුණ දෙයක්. රියැලිටි තරගයෙන් පස්සෙ ප්‍රවීණ, ජනප්‍රිය අය විවිධ වැඩසටහන්වලදී හමුවුණා. ඒ ඒ අවස්ථාවලදී මටත් එයාල එක්ක සින්දු කියන්න, නටන්න, රඟපාන්න සිද්ද වුණා. ඒවායින් අත්දැකීම් ලබාගත්තා. ඉගෙන ගෙන නොතිබුණත් දැකල, අධ්‍යයනය කරල මමත් ඒ දේවල් කළා. ඒ අවස්ථා නිසායි මට රංගනයට දොර විවර වුණේ. රවීන් කියන්නෙ කොහොමත් කිසිදෙයක් බෑ කියලා අතාරින ජාතියෙ කෙනෙක් නෙවෙයි. ඔය ‘බැරි වැඩ නොකරන් හබරෝ‘ කියන කියමන මං නම් කවදාවත් පිළිගන්න කෙනෙක් නෙවෙයි. දීපු වැඩ හොඳින්ම කළ නිසාත් මං ගැන විශ්වාසයක් ඇති වුණ නිසාත් සමන් එදිරිමුණිගේ තිර රචනයට සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ දෙවැනි ඉනිමට මාව යෝජනා වුණා. එහි සම්පූර්ණ අදහස වගේම චරිත තේරීමත් දෙරණ උපසභාපති ලක්සිරි වික්‍රමගේ මහතාගේ අනුදැනුමින් තමයි සිදුවුණේ. කිසිම අදහසක් නැතුව පටන් ගත්ත ඒ නිර්මාණය ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිහින් රවීන්, අනුහස් වෙලා තමයි නතර වුණේ. ඊට පස්සේ දියණි කියලා ටෙලි නාට්‍යයකටත් සම්බන්ධ වුණා. ඊට අමතරව ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ‘කිස්’ සහ ජෝයි දිසානායකගේ ‘We’ කියන නාට්‍යය ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක ගියා.
දෙවැනි ඉනිම අනුහස් වෙමින් වැඩිම ජනතා මනාපයෙන් අවස්ථා කිහිපයකදී ම ජනප්‍රියම නළුවා සම්මානයට පාත්‍ර වූ රවීන් කණිෂ්ක නමැති අංකුරය සිනමාව තුළ රෝපණය කිරීමේ ගෞරවය හිමිවන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට.
එතුමාගේ ‘ක්ෂීර සාගරය කැළඹිණි‘ කියන චිත්‍රපටය තමයි මගේ කුළුඳුල් සිනමා අත්දැකීම. ජැක්සන් ඇන්තනී, හේමාල් රණසිංහ වැනි ප්‍රවීණයන් ප්‍රධාන චරිත මවද්දී මායි උදාරි අක්කයි ඊට සමගාමී රංගනයක යෙදෙනවා. මේක තාම ප්‍රදර්ශනය සඳහා තියෙන චිත්‍රපටයක්. එතුමා කියන විදියට මෙය එතුමාගේ අවසන් සිනමාපටය. එය එසේ නොවේවා කියා පතන ගමන්ම එහිදී මගේ ආධුනිකත්වයට ගුරුහරුකම් දෙමින් බොහෝ උපකාර කළ අනතුරකට පත්ව සිටින ජැක්සන් ඇන්තනී මහතාටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මහාචාර්යතුමා වගේ දැවැන්තයෙක්ගෙන් කුළුඳුල් සිනමා අත්දැකීමක් ලැබීම තාමත් මට හීනයක්. ඊට කලින් එන්න තියෙන්නේ නිරෝෂා විරාජිනී සමඟ ගයන මගේ කුළුඳුල් චිත්‍රපට පසුබිම් ගායනය රැගත් ‘කදිර දිව්‍ය රාජ කියන චිත්‍රපටය. ඒකත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේමයි. ඉතින් මං වාසනාවන්ත නැද්ද? මහාචාර්යතුමා මගෙන් ඇහුව මගේ චිත්‍රපටයේ සින්දුවක් කියන්න එනවද කොල්ලෝ. උඹට කීයක් ඕනද? කියලා. මං ගත් කටටම ඇහුවා මං සර්ට කීයක් දෙන්න ඕනද? මාව මේකට ගන්නවට කියලා. ඒක නම් තාම හීනයක්.
කලා ජීවිතය නිසා මට ලැබුණු ජනප්‍රියත්වය වගේම ලැබුණු දේත් මං නිහතමානීව අගය කරනවා. මං ආසම කරන ලෝකෙ වටේ යන්නත් මට අවස්ථාව ලැබුණේ ඒ නිසා. මේ වෙද්දි මං රටවල් 25කට වගේ ගිහින් තියෙනවා. තව ටික දවසකින් නැවතත් ඕස්ට්‍රේලියාවට යනවා. ඒ 17 වැනි වතාවට. කලා ක්ෂේත්රයේ රැඳී සිටින අතරේම පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනය කටයුත්තකටත් අතගහලයි තියෙන්නේ. ඉදිරියේදී රවීන් ව්‍යාපාරික ක්ෂේත්රයේදීත් හමුවිය හැකියි.”
නාමලී ගමගේ




Lassana artical ekk akki
ReplyDeleteSuperb Artical
ReplyDelete