Wednesday, March 8, 2023

                සිරස අවුරුදු කුමරිය මුල් ම ජයග්‍රාහිකාව ඇයයි

සිරස අවුරුදු කුමරිය මුල්ම ජයග්‍රාහිකාව ඇයයි. ඒ 2007  වසරේදීය. ඒ ඇගේ කලා දිවියේ ඇරයුම් පතයි. ‘කියාදෙන්න ආදරේ තරම් හි ස්නේහා ලෙසින් සිරස ටීවී ඔස්සේ මේ දිනවල ඔබ ආලිංදයට එන ඇය දක්ෂ, සුරූපී රංගන ශිල්පිනී ශලිනි තාරකායි.

“කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ෂූටින් එක්ක මේ දවස්වල පොඩ්ඩක් කාර්යබහුල වෙලා ඉන්නේ. ඊට අමතරව සුපුන් රත්නායකගේ තත්පරයක් දෙන්න කියලා ටෙලි නාට්‍යයක් කළා. ශාන් ජයරත්න කියලා අලුත් අධ්‍යක්ෂවරයකුගේ ටෙලි නාට්‍යයක් කෙරීගෙන යනවා.  පෑලියගොඩ වත්තක කෙරෙන පරවියන් හා සම්බන්ධ කතාවක්.  වීනස් උපත, අසලියා කියලා ටෙලි නාට්‍යය දෙකකත් වැඩ කෙරීගෙන යනවා. ටෙලි නාට්‍ය 5ක් විතර  ඉදිරියට එන්න තියෙනවා. තව වැඩ කිහිපයක් පටන් ගන්නත් තියෙනවා.

සිරස කුමරිය වීමෙන් පස්සෙ තමයි මට කලා ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ. ඒ 2007 දී. සාමාන්‍ය පෙළ කරලා මං ගෙදර ඉන්න කාලේ තමයි සිරස කුමරිය බියුටි පැජන්ටා එකට ඇප්ලිකේෂන් දැම්මේ. නිළියක් වෙන්න හිතාගෙන දාපු එකක් නම් නෙවෙයි. මගේ ලයිෆ් පාත් එක වෙන්න තියෙන්න ඇත්තෙ ඒක වෙන්න ඇති.

සෙල්වම්  තමයි මගේ පළමු සිනමා අත්දැකීම. මේ වෙද්දි චිත්‍රපට 9ක් විතර කරලා තියෙනවා. ඉන් 3යි තාම ප්‍රදර්ශනය වුණේ. ඉතිරි ඒවා එන්න තියෙන ඒවා.  රොහාන් පෙරේරාගේ ‘සීගිරි කියන චිත්‍රපටයේ වැඩ අවසන් කළා.  ඒ වගේම ‘වියසිදුරු කියන්නේ තවමත් ලංකාවේ ප්‍රදර්ශනය නොවූ අන්තර්ජාතික සිනමා උලෙළ සඳහා නිර්දේශ වී සම්මාන ලැබූ චිත්‍රපටයක්.  ඒක ලංකාවේ බලන්න ලැබේවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.

රිදී තිරයේ එලෙස පායා දිලෙන මේ තාරකාව  පුංචි තිරය එකළු කරන්නේ ද වයස් භේදයක් නැති ජනතා මනාපයෙන්. විටෙක දක්ෂතම නිළි සම්මානය දෝතට ගන්නා ඇය තවත් විටෙක ජනප්‍රියම තරුව ලෙස පිදුම් ලබනවා. කිරුළු දෙකම එකවර හිමි කරගත් අවස්ථා ද නැතුවා නොවෙයි.  ඇය තරුවක් බවට තවත් අටුවාටිකා කුමටද?  ගිරිදේවි සහ අඩෝ ඇය උපරිම තලයේ දක්ෂතා දැක්වූ ටෙලි නාට්‍යයන්ය.

 “ ෂර්ලි පී දෙලංකාවලගේ ‘පූජාසනය ප්‍රධාන චරිතය තමයි මා ගැන කලා ක්ෂේත්‍රය තුළ පැහැදිලි සටහනක් තැබුවේ.  මගේ රංගන දිවියේ ඇරඹුම එතැන කීවොත් නිවැරැදියි. ඊට පෙර පතිනි කියන ටෙලි නාට්‍යයේ උප ප්‍රධාන චරිතයක් කළා.

විශේෂයෙන්ම චරිතයක් තෝරා ගැනීමේ දී මං අධ්‍යක්ෂක මෙන්ම තිර පිටපත් රචකයා එක්කත් සාකච්ඡා කරනවා, මට මේ චරිතය තුළ කොතරම් දේවල් කරන්න පුළුවන් ද කියන එක. ප්‍රධාන චරිතයම කියා තෝරා ගැනීමක් නොකළත් මට ලැබුණෙම ප්‍රධාන චරිත.  කලින් කළ චරිතයක් හා සමාන චරිතයක් නම් මං රිජෙක්ට් කරපු අවස්ථා ගොඩක් තියෙනවා. මං කැමති නැහැ එකම වගේ චරිත කරන්න. ඊට අමතරව ඒ චරිතයට වෙන මහන්සියට සරිලන මුදලක් මට ලැබෙනව ද කියන එක ගැනත් මං සැලකිලිමත්. මේ හැමදේටම ඕකේ නම් විතරයි මං චරිතය භාර ගන්නේ.“

ගීත රූප රචනා සඳහා සම්බන්ධ වෙන්න කිසිදු කැමැත්තක් නැති ශලිනි  ගීත රචනයට යොමු වී තිබීම විශේෂත්වයක්. ජනප්‍රිය ගී අතර දෝලනය වන ඇගේ නිර්මාණවලට යම් පන්නරයක් තිබිය යුතුයි.

“මං නිර්මාණය කළ ගීත 3ක් මේ වනවිටත් සමාජගත වෙලා තියෙනවා. ඊට අමතරව තව ගීත 3ක් ඉදිරියට එන්න තියෙනවා. පොඩි කාලේ ඉඳන්ම මං නිසඳැස් ලිව්වා. එක වෙලාවකදි මට හිතුණා ඒවා ගී බවට පෙරළන්න. 

 

කලාවේ බොහෝ පැතිකඩ ස්පර්ශ කරන ශලිනිටත් ළඟදීම ආදර සීනුව හැඬවෙනවා කියලා සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල විවිධ කතා පළවෙනවා. ඇයට බොහෝ සේ ආදරේ කරන ප්‍රේක්ෂක ජනතාවට නම් මෙය බොහෝ උණුසුම් පුවතක් වනු නොඅනුමානයි.

  “කාලෙන් කාලෙට මං ගැන එක එක පුවත් පළවෙනවා.  සමහර ඒවා මං රඟපාපු ටෙලි නාට්‍ය ජවනිකා. ඒ ඒගොල්ලන්ගේ පැවැත්මට කරන දේවල්. මට ගැළපෙන කෙනා එක්කයි මං ජිවත් වෙන්න ඕන කියන එක මං දැඩි ලෙස විශ්වාස කරන දෙයක්. අපි කාටවත් සීයට සීයක්ම ගැළපෙන කෙනා හම්බ වෙන්නෙ නෑ. ඒත් ඔයා දැන් වයසට යනව නේද? දැන් කෙනෙක් හොයා ගන්න ඕන නේද? කියලා කවුරුත් කියන තැන නැතුව මට මෙන්න මෙයත් එක්ක තමයි ජීවිතේ ගත කරන්න පුළුවන් කියලා කවදාහරි මට දැනුණු තැන තමයි මං නතර වෙන්නේ.

නාමලී ගමගේ



1 comment:

            ශ්‍රී ලංකා -ඉන්දීය කලාපීය මිතුදමට සේතුවක් සේ පිදෙන                                      DRDගේ  ‘සංජීවනී ලේ ආ රේ‘   එකම ලේ ධාතු...