Wednesday, March 1, 2023

            අපූරු නිමාවකින් යුතු WINGS පළමු ගීත ඇල්බමය


රටේ අර්බුදකාරී වාතාවරණයෙන් සංගීත ක්ෂේත්‍රයටත් ලොකු බලපෑමක් එල්ල විය. නව නිර්මාණ බිහිවීම වගේම සංගීත ප්‍රසංගවලටත් එහිදී අත්වුණේ අවාසනාවන්ත ඉරණමක්.  එයට අභියෝග කළ Wings සංගීත කණ්ඩායම කළ අපූරු නිර්මාණය මෙරට ගීත ඇල්බම් ඉතිහාසයට නව පිටුවක් එක්කිරීමට සමත් විය.  ඒ ඔවුන්ගේ පළමු ගීත ඇල්බමය වන ‘නදියේ‘ ගීත ඇල්බමයත් සමඟනි. එහි අපූර්වත්වය වූවේ එහි නිමාවයි. මෙතෙක් CD එකකට පමණක් සීමා වුණ ගීත ඇල්බම් කලාව නව මානයකට ගෙන යමින් ඔවුන් එයට නව මුහුණුවරක් එක්කර තිබීම විශේෂත්වයකි.

 සාමාජිකයන් 5 දෙනකුගෙන් යුත් Wings සංගීත කණ්ඩායමට ඒක පුද්ගල නායකත්වයක් නොතිබීම තවත් විශේෂත්වයකි. ඔවුන්ගේ මේ අපූරු නිමාවෙන් යුත් නිර්මාණය ගැන ඔවුන් අප හා අදහස් දැක්වූවේ මෙසේයි.

“2015 නදියේ නමින් අපි ඔර්ජිනල් සින්දුවක් කළා. ඒ සින්දුවේ නමින්ම  2022 දෙසැම්බර් 22 වැනිදා ගීත ඇල්බමයක් නිකුත් කළා.  අපට උදවු කළ අය වගේම ගී පද රචකයන් සහ කලාකරුවන් සම්බන්ධ කරගෙන කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී එය එළිදක්වනු ලැබුවා. දැන් එය වෙළෙඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සංගීත කණ්ඩායමක් ගීත ඇල්බම ලෙසින් නිකුත් කරනවා අඩුයි.‍ අවුරුදු 10කට 15කට විතර පස්සෙ තමයි මේ වගේ ගීත ඇල්බමයක් නිකුත් වුණේ. බොහෝ විට නිකුත් වෙන්නේ එක  ගීතය බැගින්. නදියේ ගීත ඇල්බමයේ ගීත 13ක් අඩංගුයි. 

මෙය සාමාන්‍ය ගීත ඇල්බමයකට එහා ගිය නිමාවකින් යුත් එකක්. පැකේජයක් විදිහට නිකුත් වුණ එකක් කිව්වත් හරි. මෙය උපාංග කිහිපයක් අඩංගු බොක්ස් එකක්.  දැන් තාක්ෂණය දියුණු නිසා CD වුණත් අහනව අඩුයි. ඒකට පිළියමක් විදිහට අපි කල්පනා කළා මේකට දියුණු ආකාරයේ නිමාවක් දෙන්න. CD එකට අමතරව USB ප්ලෑෂ් පෙන් ඩ්‍රයිව් එකකටත් සින්දු ඇතුළත් කළා. ඊට අමතරව නදියේ ඇල්බමයේ පෝස්ටර් එකක් වගේම ඔරිජිනල් ගීතවල පද රචනයන් සහ පද රචකයන්ගේ විස්තර අඩංගු බුක්ලට් එකක් එහෙම නැත්නම් පොත් පිංචක් මේ බොක්ස් එකට එකතු කළා. අපේ බෑන්ඩ් එකේ විස්තර වගේම මේ ගීත පටිගත කළ ආකාරයත් එහි ඇතුළත්. අපිට ඕන කළා ඔරිජිනල් ගීතයත් එක්කම  ඒකෙ ඔරිජිනල් පද රචනයත් ප්‍රේක්ෂකයන් අතරට යවන්න.

මේ බන්ඩ්ල් එක එහෙම නැත්නම් මේ අමුතු පැකේජ් එක මොකක්ද කියන කුතුහලයත් එක්කයි රසිකයන් මේක මිලදී ගන්නේ. ලැබෙන ප්‍රතිචාරවලින් අපි හිතනවා ඒක සාර්ථක වුණා කියලා. සෙන්ටිග්‍රේඩ්ලගේ ප්‍රතිචාරය ඒ අතර විශේෂයි. එයාලා කිව්වේ සින්දු අහනවටත් වඩා එහා ගිය දේවල් මේ පැකේජ් එක ඇතුළෙ තියෙනවා. මේක ජාත්‍යන්තර මට්ටමේ වැඩක් කියලා. “

Wings  සංගීත කණ්ඩායමේ ඉතිහාසය ගැන සඳහන් කරන්නත් ඔවුන් අමතක කළේ නැහැ.

Wings සංගීත කණ්ඩායම ආරම්භ කළේ  2011 වසරෙදි. ඒ අපේ සාමාජිකයකු වුණ දිලිප්ගේ විවාහ මංගල උත්සවයත් සමඟින්. ඊට පස්සේ දිගටම මංගල උත්සවවලට ප්ලේ කරන්න පටන් ගත්තා. එතන තමයි අපේ ආරම්භය. අපේ කණ්ඩායමේ සාමාජිකයන් පස් දෙනයි. නිලක්ෂ නෙත්තිකුමාර කීබෝඩ් වාදනය, කවීෂ් සිරිසේන බේස් ගිටාර්, සාලිය ඉලංගසිංහ ලීඩ් ගිටාර්, දිලිප් ටී සිල්වා ගිටාර් වාදනය වගේම අපේ නිත්‍ය ගායකයා, උදේශ් නිලංග ඩ්‍රම්ස් වාදනය. අපිට ප්‍රැක්ටිස් කරන්න ස්ටුඩියෝ එකක්වත් තිබුණෙ නෑ. අපි තැනින් තැන ගිහින් තමයි ප්‍රැක්ටිස් කළේ. දැන් අපිට Wings කියලා ස්ටුඩියෝ එකක් තියෙනවා කිරිබත්ගොඩ මාකොළ. නදියේ ඇල්බම් එකේ  ඔක්කොම සින්දු පටිගත කළේ, මියුසික් කළේ අපිමයි. අපේ ස්ටුඩියෝ එකේ.

නදියේ කියන සින්දුව තමයි මේකෙ තේමා ගීතය. ඒක පද රචනය කළේ ගීත් විමර්ශන. ඊට අමතරව යමුනා මාලිනි පෙරේරා, නිර්මාල් බණ්ඩාර, ශෙහාන් ගලහිටියාව, ගිහාන් ජයවර්ධන, දම්රුවන් බැබිලේගෙදර, දිස්නක ගලප්පත්ති සහ සඳුනි කරුණාරත්න පද රචනයෙන් සහාය වුණා. ඇල්බම් එක ඕඩියෝ විතරයි. අපි වීඩියෝ කළ සින්දු 4ක් යු ටියුබ් එකට දාලා තියෙනවා. ඒ 4ත් මේ ඇල්බමයේ තියෙනවා. අපි අපේ ගීත කරන්නේ ඕල්ටනේටිව් රොක් ස්ටයිල් එකට. ඉදිරියේ දී මේ ඇල්බමයේ සින්දු 2ක් වීඩියෝ කරන්න අදහස් කරගෙන ඉන්නවා. ඒ වගේම නදියේ කියලා ප්‍රසංග මාලාවක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

අපි විවාහ උත්සවවලට අමතරව ගෘහස්ත ප්‍රසංගවලට විතරයි සහභාගී වෙන්නේ. අපි කරපු කොන්සට් 3ක් ගොඩක් ජනප්‍රිය වුණා. 2015 මිස්ට නෝවා කියලා එකක් කළා. ඒකේ අපි කළ ජයශ්‍රීලගේ පියමැන්නේ ගීතය යූටියුබ් දාලා නැරඹුම් වාර මිලියන 4 ඉක්මවා තිබුණා.  ඊට අමතරව මිහිඳු ආරියරත්නගේ යාත්‍රිකයා කියන ඇල්බම් එකත් එක්කම කළ යාත්‍රිකයා කොන්සට් එකේ ප්ලේ කළා. ඒක කොළඹ, ගාල්ල සහ නුවර ප්‍රසංග තුනක් තිබුණා. නුවර එක කළේ අපි.  ඒකත් යුටියුබ් එකේ ගොඩක් ජනප්‍රිය වුණා. ඊට අමතරව නුවර තව කොන්සට් එකක් කළා. ඉන්ද්‍රචාපා ලියනගේ, සේනක බටගොඩ, මිහිඳු ආරියරත්න, ඉසුරු මෙනේරිපිටිය එකමුතුව අධිමාත්‍රා කියලා. ඉදිරියටත් ප්‍රසංගවලට ආරාධනා ලැබිලා තියෙනවා. Wings ඉදිරියේ දී තවත් දියුණු වෙමින්  නව නිර්මාණවලින් ප්‍රේක්ෂකයන් අතරට ඒවි. “

 

නාමලී ගමගේ




2 comments:

            ශ්‍රී ලංකා -ඉන්දීය කලාපීය මිතුදමට සේතුවක් සේ පිදෙන                                      DRDගේ  ‘සංජීවනී ලේ ආ රේ‘   එකම ලේ ධාතු...