Saturday, March 4, 2023

       ඇති දේකුත් නැති, නැති දේකුත් නැති අමු මියුසික් කල්චර් එක

සංගීතය  කියන්නෙත් කාලයේ තාලයට වෙනස්වන  නිතර අත්හදාබැලීම්වලට  ලක්වන ක්ෂේත්‍රයකි. සුභාවිත, ශාස්ත්‍රීය, රොක්, පොප් ආදී වශයෙන් විවිධ රටාවන් වැලඳගන්නා ප්‍රේක්ෂක පිරිස් අතර ස්වාභාවික සංගීතයට ඇලුම් කරන්නෝද වෙති. සුළඟ, වැස්ස, ගසකොළ සෙලවෙන හඬ, දියඇළි ගංගා ගලාබසින හඬ, සතුන්ගේ හඬ වැනි ඕනෑම ශබ්දයක් සංගීතයක් ලෙස සැලකිය හැකිය. සොබාදහම පුරාම විසිරී ඇත්තේ ස්වාභාවික සංගීතයයි.

ගීතය ද ස්වාභාවිකවම බිහිකළ හැකි බවට පර්යේෂණාත්මක අත්හදාබැලීම් කරමින් යන සංජීව් ලොන්ලියෙස් මේ දිනවල ප්‍රේක්ෂක අවධානයට ලක්වී ඇති සංගීතවේදියෙකි. කෘත්‍රීම හඬක් මුසුනොකර, කිසිදු වෙනසක් ද නොකර සජීවී ලෙස ප්‍රේක්ෂකයාට තම ගීතය සමීප කරන්නට වෙහෙසෙන ඔහු වෘත්තියෙන් රසායන විද්‍යාව ආචාර්යවරයෙකි. උගත් විද්‍යාව දැනුම ද කලාව හා මුසු කරමින් අමු මියුසික් කල්චර් ලෙසින්  ඔහු මවන ඒ ගී රටාව දැන් දැන් ප්‍රචලිත වෙමින් පවතී. මේ ඔහු හා කළ කතාබහයි.

සංජීව් ගැන බොහෝ දෙනා මේ දවස්වල හොයන්න පටන් අරන්. මොකක්ද මේ අමු සින්දු කල්චර් කියන්නේ?

සාමාන්‍යයෙන් ස්ටුඩියෝ එකක සින්දුවක් වොයිස් කළාම ඒක ප්‍රේක්ෂකයාට  අහන්න ලැබෙන්නේ එඩිට් කරලා. ඒ කියන්නේ කෑලි කපලා තැන් තැන්වලට බට් කරලා වෙනස් කරලනේ. එහෙමත් නැත්නම් කෘත්‍රිම හඬවල් එකතු කරලා. අමු සින්දු කියන්නේ එහෙම එඩිට් කිරීමක් නොකර සජීවී ලෙසම ඒ ගීත ප්‍රේක්ෂකයාට සමීප කරන එක.  පසුගිය දා රිලීස් වුණ මගේ නිල් මැණික කියන අමු සින්දුවට මේ දවස්වල ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒ කියන්නේ ඒකටත් දැන් ප්‍රේක්ෂකාගාරයක් සැකසෙමින් තියෙනවා කියන එකනේ.

අමු මියුසික් කල්චර් කියන  එක හැදෙන්නෙ කොහොමද?

අමු මියුසික්වලදී යොදා ගන්නේ සීමිත සංගීත භාණ්ඩ ප්‍රමාණයක්. උපරිම ගිටාර් එකයි තව එකක් හෝ දෙකක් විතරයි. ගිටාර් එකේ සද්දෙයි, අපේ ලයිව් වොයිස් එකයි ඇරුණම කිසිම කෘත්‍රිම හඬක් මුසු නොකර කිසිම වෙනස්කමකට භාජනය නොකර ඒ විදිහටම අහන්න දෙන එක තමයි අමු මියුසික්වලින් කරන්නේ. ස්වාභාවික මිනිස් ස්වර තන්ත්‍ර සහ ස්වාභාවික තන්තු පටල කම්පනයෙන් එන සංඛ්‍යාත කිසිම වෙනස් කිරීමකින් හෝ තාක්ෂණික විපර්යාසයකින් තොරව ප්‍රේක්ෂකයා වෙත මුදාහැරීම තමයි අමු මියුසික් කල්චර් එකෙන් කෙරෙන්නේ. මෙතෙක් කල් මේ වගේ දෙයක් කවුරුත් කරලා තිබුණෙ නෑ.

අමු මියුසික් කල්චර් එකක් හඳුන්වා දීමේ අරමුණ මොකක්ද?

මං මේක පොඩි රිසර්ච් එකක් විදිහට පටන් ගත්තේ. මේකෙ පොඩි සයන්ස් පැත්තකුත් තියෙනවා. අපේ හදවතට දැනෙනව කියන ශබ්දවල විවිධ සංඛ්‍යාත වර්ග තියෙනවා. ඒක ගිටාර් එකේ ශබ්දයේ හෝ වචනයක හරි වෙන්න පුළුවන්. ඒවා ජීවීන්ට දැනෙනවා. මේ ඔක්කොගෙම තියෙන්නේ ෆීකුවන්සි. එහෙම නැත්නම් සංඛ්‍යාත. සමහර සංඛ්‍යාත තියෙනවා මිනිසුන්ගේ මොළේ සෛල උද්දීපනය කරලා හෝමෝන ස්‍රාවය වෙනස් කරලා කෙමිකල් චේන්ජ් එකක් කරන්න පුළුවන්. ඒ චේන්ජ් එකට මිනිස්සු ඇඩිට් කරවන්න පුළුවන්. එහෙම සංඛ්‍යාත ටිකක් තියෙනවා මේ විශ්වය අස්සේ. අන්න ඒ සෙට් එක තමයි අපි පාවිච්චි කරන්නේ.  තවත් සංඛ්‍යාත පරාස කිහිපයක් සොයාගන්නත් තියෙනවා.   අපි මේ කරගෙන යන්නේ අමු කියන මියුසික් ෂානරයේ යම් ආරම්භක අවස්ථාවක්. මේක මනසට තෙරපියක්. බැලුවම මේකෙ ඇති දේකුත් නෑ, නැති දේකුත් නෑ. ඒත් අහන්නම හිතෙනවා.

මෙහිදී ගීතයේ පද රචනය ගැනත් ඔබ සැලකිලිමත් වෙනවාද  ?

ඇත්තටම ඔව්. බොහෝ දුරට ගීතයක තේරුම තමයි හදවත ග්‍රහණය කරගන්නේ. මේ ළඟදි මට ස්වීඩන්වල සේවය කරන ඩොක්ටර් කෙනෙක් කතා කළා. එයා මේක එයාගේ රෝගීන්ට නිදහසේ අහන්න දීලා, මානසික තෙරපි එකක් විදිහට යොදාගන්නවලු. ඕනෑම කෙනෙක් සින්දුවක් අහද්දී ඒකෙ අර්ථය එයාලගේ ජීවිතේට සම්බන්ධ කරගන්නවා. අන්න ඒ අවස්ථාවේදී තමයි මිනිස් සෛලවල අපි ඔය කියන කෙමිකල් චේන්ජ් එක සිද්දවෙන්නේ. ඒක කරන්න පුළුවන් වෙන්නේ සෛලවල හෝමෝන ස්‍රාවය වෙනස් කරලා. එතනදි මිනිස්සු ඒකට ඇඩිට් වෙනව නම් මේක හරි ලස්සන සින්දුවක් කියලා කියනවා නම් සාර්ථකයි. යම් යම් සංඛ්‍යාත පරාස යොදාගෙන ඒක තවදුරටත් සාර්ථක කරගන්න උත්සාහ කරනවා. 

සංජීව් කොහොම ද එකපාරටම මේ වගේ දේකට යොමුවුණේ?

මං කැලණිය විශ්වවිද්‍යාලයෙන් කෙමිස්ට්‍රි ස්පෙෂල් එක කරලා දරිද්‍රතා මැද බොහොම හෙමින් ආව ගමනක් මේක. මුලින්ම මම කළ ‘කට්ට කාලා දාගත්ත කෙල්ල යාළු‘ සින්දුව ගොඩක් මිනිසුන් අතරට ගියා. ඒත් සින්දුවක් කරගෙන ජීවත්වෙන්න අමාරු නිසා මියුසික්වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙලා ටියුෂන් පටන් ගත්තා. කාලයක් යද්දි මට හිතෙනවා මොකක් හරි වෙනස් දෙයක් කළයුතුයි කියලා. මම සයන්ස් කළාට ආර්ට්වලටත් පුදුම උණක් තිබුණා. සයන්ස්, ආර්ට් දෙක තුළම ඉන්න නිසා මට එහෙම හිතුණා. එතනදි තමයි කලීෆා සින්දුව නිර්මාණය වෙන්නේ. වෙනම කල්චර් එකකට  යන්න ඕන නිසා කෙලින්ම අමු මියුසික් කියලාම නම දැම්මා. මේ සින්දුවලින් නිතරම කතා කළේ සමාජගත ගැටලු තමයි. මුලදි මුලදි බොහෝ දෙනාගෙන් විවේචන ආවා. මොනවද මේ කරන්නේ තේරුමකුත් නෑ. මියුසික් ඇත්තෙත් නෑ කියලා. ඒත් දැන් දැන් වයස් භේදයකින් තොරව බොහෝ දෙනා මේ කල්චර් එක වැලඳ ගනිමින් ඉන්නවා. 

 තවමත් තනිකඩව ගෙවන ජීවිතෙත් අමු මියුසික් එක්කම තනිවෙයි ද?

අපිත් යනවා දවසක ලී කූඩුවේ

එතෙක් විඳිමු අපි මේ ජිවිතේ ‘

කියලා මමම කියපු සින්දුවක් තියෙනවා.  බැඳීම්වලින් ජීවිතේ කොටුකර ගත්තොත් නිදහසේ නිර්මාණයක් බිහිකිරිමේ ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා මහා ලොකු බැඳීම්වලින් හිරවෙන්නෙ නැතුව යාළුකම, ආදරය එක්ක ජීවිතේ හැම දෙයක්ම විඳිමින් නිදහසේ ජීවිතේ ගෙවනවා.

 

නාමලී ගමගේ

 




No comments:

Post a Comment

            ශ්‍රී ලංකා -ඉන්දීය කලාපීය මිතුදමට සේතුවක් සේ පිදෙන                                      DRDගේ  ‘සංජීවනී ලේ ආ රේ‘   එකම ලේ ධාතු...