Friday, February 24, 2023

                 රදළ මනසින් ගාඩි රැහැට පිටමං කළ ටිකිරි

 


ජාත්‍යන්තර සිනමා උලෙළ රැසක් නියෝජනය කරමින් සම්මානයට පාත්‍ර වුණු ගාඩි සිනමාපටය ජාත්‍යන්තර සම්මානලාභී අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේගේ නිර්මාණයකි. 1815 ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට පත්වීමට පෙර කාල වකවානුව පාදක කොට ගෙන නිමැවුණු මෙම සිනමාපටයෙන් වර්ණය, කුල භේදය ආදරයට කිසිම බාධාවක් නොවන පණිවුඩය දීමට උත්සාහ කර ඇත්තේ මනුස්සත්වය අගය කරමිනි. ටිකිරිගේ චරිතය මෙහි සාර්ථකත්වයට ඍජුවම බලපා ඇති බව විචාරක පැසසුම්වලින් මොනවට කියාපායි. තම මුල්ම සිනමා අත්දැකීම ලෙසින් ටිකිරිට පණ දෙන ඇය ඩිනාරා පුංචිහේවායි.   මේ ඇය හා කළ කතාබහයි.

 

ගාඩි මේ දිනවල සාර්ථක අන්දමින් ප්‍රදර්ශනය වන සිනමාපටයක්. කොහොමද ටිකිරිට ලැබෙන ප්‍රතිචාර?

ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මටත් විශ්වාස කරන්න බෑ. ඒක නම් පුදුමයි. චූටි කාලෙ හීනයක් ඉෂ්ට වුණා වගේ හැඟීමක් දැනෙන්නේ. ප්‍රසන්න සර් වගේ අධ්‍යක්ෂවරයෙක් යටතේ මට මේ අවස්ථාව ලැබීම ලොකු සතුටක්. සමාජ මාධ්‍යවලින් ලැබෙන ප්‍රතිචාරවලින් හිතෙනවා මං සාර්ථකයි කියලා. ගොඩක් වෙලාවට අපි නොහිතපු තැන් තමයි ප්‍රේක්ෂකයාට දැනිලා තියෙන්නේ. රූගත කරද්දිවත් අපට දැනුණෙ නැති තැන් ගැන ප්‍රේක්ෂකයන් කතා කරනවා. ප්‍රතිචාර දක්වනවා. සති අන්තයේ සිනමාශාලා හවුස්ෆුල් ලේබලයෙන් දුවනවා. ලොකු සතුටක් දැනෙනවා.

ටිකිරි කියන්නේ මොන වගේ චරිතයක් ද?

ටිකිරි කියන්නේ රදළ පවුලක බාල වියේ කාන්තාවක්. එදා රාජ නීතියට අනුව ඇගේ සැමියාගේ අතින් වන අඩුපාඩුවක් නිසා නීතියට අනුව එයාට දඬුවමක් ලැබෙනවා. ඒක නොකළ නිසා එයා රොඩී කුලයට පාවා දෙනවා. ඒක තමයි මේ කතාවෙන් කියවෙන්නේ. උසස් රදළ පැලැන්තිය වගේම පහත් රොඩී කුලයත් නියෝජනය කරන්න ටිකිරි හරහා අවස්ථාව ලැබුණා. මේක ඓතිහාසික කතාවක් වුණත් ආදරය තමයි තේමාව වුණේ. අවසානයේ මනුස්සකම කියන එක තමයි දැනෙන්න දුන්නේ.

ටිකිරි කියන්නේ අභියෝගාත්මක චරිතයක්. ඔබේ මුල්ම අත්දැකීම විදිහට චරිතය සාර්ථක කරගන්න කොහොමද සූදානම් වුණේ?

අපි මාස 6ක් 8ක් වගේ පුහුණුවීම් කළා. වැඩමුළුවලට සහභාගී වුණා. සබරගමු නැටුම් පවා මට ඉගෙන ගන්න වුණා. මං නැටුම් ගැන දැනන් හිටියෙත් නෑ. පොත් කියෙව්වා. චිත්‍රපට බලන්න දුන්නා. ප්‍රසන්න සර් වුණත් ලොකු රිසර්ච් එකක් කරලා තිබුණා. අවුරුදු 30 ක විතර වෙලේ ඉඳන් තමයි මේක කරන්න ඉඳලා තියෙන්නේ. ඒ කාලේ ජැක්සන් ඇන්තනී සර් සහ ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය යොදාගෙන තමයි කරන්න ඉඳලා තියෙන්නේ. මේ වගේ දැවැන්ත නිර්මාණයක මේ වගේ චරිතයක් කරන්න ලැබුණ එක ගැන මං ගොඩක් සතුටු වෙනවා.

රොඩී කුලය ගැන සාමාන්‍යයෙන් අත්දැකීම් අඩුයිනේ. ඩිනාරා කොහොමද ඒ ගැන අධ්‍යයනය කළේ?

ඔව්. අපි ස්කෝලෙ යන කාලේ රොඩී කියලා කොටසක් හිටියා කියලා දන්නවා වුණාට එයාලා ගැන එච්චර ගැඹුරට  දැනන් හිටියෙ නෑනෙ. මේ චිත්‍රපටය තුළ තමයි මටත් දැනගන්න ලැබුණෙ මෙච්චරට මෙහෙම ඉතිහාසයක් අපට තිබිලා තියෙනවා කියලා. මටත් ලැජ්ජයි, දුකයි ඒ ගැන නොදැන හිටිය එක ගැන. එදා තිබුණ සමාජ ගැටලුම අදටත් අදාළයි. අදත් සමහර පැතිවල කුල ක්‍රමය තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව කියන්නේ කුලය ඉහළින්ම සලකන රටක්. එහිදී මේ චිත්‍රපටයට ඉහළම ප්‍රතිචාර ලැබුණා.

ප්‍රවීණ ජාත්‍යන්තර සම්මානලාභී අධ්‍යක්ෂවරයෙක් යටතේ මංගල සිනමා අත්දැකීම ලබාගන්න හැකිවීම කොහොමද දැනුණේ?

ප්‍රසන්න විතානගේ කියන්නේ ඉතාම සුහදශීලී විනය ගරුක අධ්‍යක්ෂවරයෙක්. බිංදුවෙන් බිංදුවට හැම දේ ගැනම සැලකිලිමත්. අපේ මුහුණේ, ඇස්වල පුංචි ඉරියව්ව පවා හොඳින් ග්‍රහණය කරගන්නවා. හරිම විනයගරුක විදිහටයි රූගත කිරීම් කළේ. සිනමාව, කැමරාව ගැන මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හැමෝගෙම හීනයක් මේ අධ්‍යක්ෂවරයා එක්ක වැඩ කරන එක. මට මේ ලැබුණ අවස්ථාව මගේ වාසනාවක්. මේකෙන් පස්සේ මට තවත් චිත්‍රපට 4කට විතර සම්බන්ධ වෙන්න ලැබුණා. විදෙස් ටෙලි චිත්‍රපටයකටත් දායක වුණා.

 

ඔබේ මුල්ම රංගනයට මේතරම් ප්‍රතිචාර, විශේෂයෙන්ම විචාරක පැසසුම් ලැබෙද්දී කොහොම ද ඒක දැනුණේ?

ඇත්තටම වචනවලින් කියන්න බැරි තරම් සතුටක් ඒක. මම චරිතය තුළ ජීවත් වුණා. මම ඒ චරිතයට සාධාරණය ඉෂ්ට කළා කියලා මට හිතෙනවා. දැන් තියෙන්නේ ප්‍රේක්ෂකයන් අතේ. ඔවුන් හිතනවා නම් මං ඒක හොඳට කළා කියලා ඒකෙ ගෞරවය හිමිවෙන්න ඕන ප්‍රසන්න සර්ටයි සජිතටයි. මොකද අපි තුන්දෙනා තමයි මේ ගමන එකටම ආවේ. සජිතත් විජය කියන චරිතය තුළ ජීවත් වුණා. ඔහුගෙන් විශාල සහායක් ලැබුණා.

ගාඩි ගොඩක් විදෙස් සිනමා උලෙළවල් නියෝජනය කරලා සම්මාන ලැබුවා. කොවිඩ් තත්ත්වයත් එක්ක ආරාධනා ලැබුණු ගොඩක් සම්මාන උලෙළවල් නියෝජනය කරන්න අපිට බැරි වුණා.

 

ඩිනාරාගේ සැමියා ලොවක් හඳුනන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණිගේ පුතා. කොහොමද ඒ හමුවීම?

මගේ සැමියා සංජය වෙත්තමුණි. එයා ෆයිලට් කෙනෙක්. යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි අපි හමුවුණේ. මට චූටි කාලේ තිබුණේ රංගන ශිල්පිනියක් වීමේ හීනය. ඒ වගේම සංජයටත් චූටි කාලේ ඉඳන්ම තිබුණ හීනයක් තමයි ෆයිලට් කෙනෙක් වෙන එක. ඒ වෙනුවෙන් එයා ඩිග්රිය කළා. දැන් ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ ගුවන් කපිතාන් කෙනෙක්. දැන් අපි දෙන්නගෙම හීන හැබෑවෙලා ඉවරයි.  අපි දෙන්න අතරේ ලොකු අවබෝධයක් තියෙනවා. රැකියාවන් ගැන වුණත් එහෙමයි. එයා මගේ ගමනට ලොකු සහායක් දෙනවා. එයාගේ පවුලේ අයත් කලාවට ගොඩක් කැමතියි. එයාලගෙනුත් ලොකු සහායක් ලැබෙනවා. මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න තමයි මගේ වැඩි කැමැත්ත.

 

නාමලී ගමගේ

  

 



2 comments:

            ශ්‍රී ලංකා -ඉන්දීය කලාපීය මිතුදමට සේතුවක් සේ පිදෙන                                      DRDගේ  ‘සංජීවනී ලේ ආ රේ‘   එකම ලේ ධාතු...