Monday, April 10, 2023

                ආලකමන්දාව ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයයි

මානව සංහතිය උදෙසා කාන්තාවක් ලෙස කළ කැපකිරීම සහ කලාව වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් වනිතාභිමාන කලා හා සාහිත්‍ය අංශයේ ජාතික සම්මානය මෙවර හිමිකර ගනු ලැබුවේ විනීතා කරුණාරත්නය. ජාතික රූපවාහිනියේ නිෂ්පාදිකාවක්, අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කරමින් ඇය කලාව උදෙසා කළ මෙහෙය සුලුපටු නොවේ. කාන්තාවන් වෙනුවෙන් රූපවාහිනි නාළිකාවක් ඉදිරිපත් කරනු ලැබූ පළමු වැඩසටහන ලෙස නුග සෙවණ ආරම්භක නිෂ්පාදිකාව  ද ඇයයි. ජාතික රූපවාහිනියට ආවේණික වූ  ඉතිහාසගත වැඩසටහනක් වූ ආලකමන්දාව අධ්‍යක්ෂිකාව ද ඇයයි. අද අපේ කතාබහ ඇය සමඟයි.

 

වනිතාභිමාන කියන්නේ කාන්තාව අගයනු වස් කාන්තාව කේන්ද්‍ර කොටගත් සම්මානයක්. කොහොමද මේ සඳහා ඔබ සුදුසුකම් ලබන්නේ?

වාර්ෂිකව පවත්වනු ලබන වනිතාභිමාන සම්මාන උළෙල පවත්වනු ලබන්නේ සිරස නිවුස් ෆස්ට් සහ එන්.ඩී.බී. බැංකුවේ මැදිහත්වීමෙන්. ගිය වරත් කලා අංශයේම වෘත්තීය හා ආයතනික මට්ටමේ තරගය සඳහා මං ඉදිරිපත් වෙලා දෙවැනි ස්ථානය හිමිවුණා. මෙවර ඉදිරිපත් වුණේ ජාතික තරගයට. ලංකාවේ පළාත් 9න් තරගකරුවන් උදෙසා මූලික වට 2ක් ඔස්සේ තමයි මෙය පැවැත්වුණේ. පළමු වටයෙදි කරන්නේ සුදුසුකම් පරීක්ෂා කිරීම. දෙවැනි වටයෙදි එක් පළාතකින් එක්කෙනා බැගින් පළාත් 9න් 9ක් තෝරගන්නවා. බස්නාහිර පළාතෙන්  මං තේරුණේ. අවසන් 9 දෙනා අතරින් ලංකාවෙන්ම ජාතික සම්මානය හිමිවුණේ මට. අනූෂා ගෝකුල මහත්මිය තමයි මං ඉදිරිපත් වුණු කැටගරියෙ සභාපතීත්වය දැරුවේ. මං ගියේ රූපවාහිනී නිර්මාණ පැත්තෙන්. රංගනය, ගායනය, නිවේදනය වගේ විවිධ ක්ෂේත්‍රවලින් ඉදිරිපත් වෙලා හිටියා. කාන්තාවන් වෙනුවෙන් ලංකාවේ  ඉන්න කලාකාරිනියන් වෙනුවෙන් වගේම නුග සෙවණ වගේ වැඩසටහන් ඔස්සේ මං කළ මෙහෙවර නිසා මට ලැබුණු දෙස් විදෙස් සම්මානවලිනුත් මට ලකුණු ලැබෙන්න ඇති. මේ වනවිට මට සම්මාන 23ක් ලැබිලා තියෙනවා. ඒ සියල්ලටම වඩා මට මේ සම්මානයේ වටිනාකම මගේ හදවතට දැනෙනවා වැඩියි.   කාන්තාවක් විදිහට මේ තරම් දුරක් එන්න ජීවිතේ මෙන්ම කලාව වෙනුවෙන් කළ කැපකිරීම නිසා ඒ ඇගයීම මට හුඟක්ම දැනෙනවා. ඉදිරියටත් තව තව වැඩ කරන්න මේක මට ලොකු ශක්තියක් වේවි. තවත් කරන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. මං ඒ සඳහා සැදී පැහැදී ඉන්නවා.

කාන්තාවක් විදිහට ඔබ මේ වෙද්දිත් ලොකු මෙහෙවරක් කර අවසන්. කොතනින්ද ඔබට මේ ශක්තිය ලැබෙන්නේ?

මං නැන්දයි මාමයි එක්ක ගමක හැදුණු වැඩුණු කෙනෙක්. දැරණියගල සිරිසමන් මහා විද්‍යාලයෙන් සහ කළුතර ඥානෝදය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා. පාසල් කාලෙ ඉඳලම මං සංගීතය ගොඩක් ආසයි. උසස් පෙළ කළෙත් සංගීතය විෂයයෙන්. ඒ අතරේ පත්තරවලට, ගුවන්විදුලියට විශේෂාංග ලිව්වා. ඒ වගේම තරගවලටත් ඉදිරිපත් වුණා. විශ්වවිද්‍යාල වරම් අහිමි වීමත් එක්ක වැඩිදුර සංගීතය හැදෑරීමේ අදහසින් තමයි මාලනී බුලත්සිංහල මහත්මිය  සමඟ සම්බන්ධ වෙන්නේ. ඇය අම්ම කෙනෙක් වගේ මට ඉගැන්නුවා. මගේ විවාහය දක්වා මාව බලා ගත්තා. ඇගේ විශ්වාසය රකිමින් මං ප්‍රථම පෙළ සාමාර්ථයක් සමඟින් විශාරද උපාධිය  ලබාගත්තා. මට කේමදාස මාස්ටර් හඳුනගන්න ලැබුණෙත් ඇය නිසා. ඊට පස්සේ ගුරුපත්වීමක් ලැබුණත් මගේ වැඩි කැමැත්ත තිබුණේ කලාව පැත්තට.

ඔය අතරේ නිවේදිකාවන් බඳවා ගැනීමේ පත්තර දැන්වීමකට අනුව පරීක්ෂණ තුනකින් සමත්වෙලා ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙන්න මට අවස්ථාවක් ලැබෙනවා. මුලින්ම හෙන්රි ජයසේනයන් සමඟ ප්‍රේක්ෂක ප්‍රතිචාර කියන වැඩසටහන ඉදිරිපත් කරන්න ලැබුණා. මං සංගීතය කරපු කෙනෙක් නිසා හෙන්රි සර් මගෙන් ඇහුවා රූපවාහිනියට සම්බන්ධ වෙන්න කැමතිද කියලා. මගෙත් ලොකු ආසාවක් තිබුණ නිසා ගුරු වෘත්තියෙන් අයින් වෙලා රූපවාහිනියට සම්බන්ධ වුණා. ඒ අනියම් සේවිකාවක් විදිහට රු. 45ක වැටුපට. ඒත් මං හරි ආසයි  ඒකට. රූපවාහිනියෙ සුවඳටත් මං ආස කළා. හරියට සංසාරෙන් ලැබුණු දෙයක් වගේ. ඊට පස්සේ සෝමසිරි ඉලේසිංහයන් යටතේ සංගීත අංශයට සම්බන්ධ වුණා. එහිදී නිෂ්පාදනයටත් සහාය වුණා. සචින් දත් කීට් සංගීතවේදියා සමඟ ස්වර රංග, ස්වර සංකලන වගේ වැඩසටහන් ඉදිරිපත් කළා. ඉලේසිංහ මාස්ටර් එක්ක බාහිර රූගත කිරීම්වලටත් සම්බන්ධ වුණා.

දැය ගී සරණ, සංගීත මකරන්ද, සම්මානි, සංඛ පත්ම වගේ වැඩසටහන් කළා. ඊට පස්සේ සහකාර නිෂ්පාදිකයක් විදිහට වැඩ කළා. නිෂ්පාදිකාවක් විදිහට මුලින්ම කළේ කවි මඩුව වැඩසටහන. පියසේන රතුවිතාන කවියා සමඟ තවත් කවීන් පිරිවරාගෙන ලංකාව පුරා එළිමහන් වැඩසටහන් විදිහට කළා. මං තනියම වැඩ කරන්න අත්දැකීම් ලබා ගත්තෙ ඒ තුළින්. ඒක ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණු ජනප්‍රිය වැඩසටහනක් වුණා. ඒක කළේ ඩ්‍රාමා ටයිප් එකට. බෝපත් ඇල්ලේ අහිකුණ්ඨිකයන් විදිහට කරපු වැඩසටහන් අමතක නොවන එකක්.

විනීතා කරුණාරත්න කියන චරිතය ප්‍රේක්ෂකයන් වඩාත්ම හඳුනාගත්තේ කොතනින් ද?
ඔය අතරේ මගේ විවාහය සිදුවෙන්නේ ගුවන්විදුලියේ සේවය කළ නිහාල් කරුණාරත්න සමඟ. ඒ මාලනී බුලත්සිංහලයන්ගේ මැදිහත්වීමෙන්. විනීතා කරුණාරත්න කියන නම ගොඩක්ම ප්‍රේක්ෂකයන් හඳුනගන්නේ ලංකාවේ රූපවාහිනී නාළිකාවක් කළ පළමු ගීත දර්ශක වැඩසටහන වූ ගී හත වැඩසටහනේ අධ්‍යක්ෂිකාව ලෙසින්. ලංකාවේ ප්‍රවීණයන් රැසක් සහභාගී කරගෙන  වැඩසටහන් 300ක් කළා. ඊට පස්සේ ක්ෂේත්‍රයේ ප්‍රවිණයන්ගේ ජීවිත කතාව ඇසුරින් සෙනෙහසේ නවාතැන කියලා වැඩසටහනක් කළා. එහි ආචාර්ය ගාමිණී ෆොන්සේකා කියන අසහාය චරිතය සමඟ කළ වැඩසටහන කවදාවත් අමතක වෙන්නෑ. ඔහු මියගිය මොහොතේ කිසිම රූපවාහිනී නාළිකාවක් සතුව නොවූ ඔහු පිළිබඳ තොරතුරු අප සන්තක වීම මට සුවිශේෂී කරුණක්  වුණා.

ඉන් පසුව පාලනාධිකාරියේ යෝජනාවෙන්  ආරම්භ වුණු නුග සෙවණ වැඩසටහනේ අධ්‍යක්ෂිකාව එහි ප්‍රථම වැඩසටහන කිරීමේ අභියෝගය භාරගන්න වුණා. ඒ  2000 අප්‍රේල් 17 වැනිදා. වෛද්‍ය සාකච්ඡා, කලා, අත්කම් නිර්මාණ, කාන්තා හිංසන, විවිධ ක්ෂේත්‍ර ගැටලු ආදී විවිධ තේමාවන් ඔස්සේ යමින් ආරම්භ වූ නුග සෙවණ අද දක්වාත් පැවතීම ලොකු ජයග්‍රහණයක්. ආලකමන්දාව තමයි මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක. මට වාසනාව ගෙනාපු මගේ සලකුණ. සෙනෙහසේ නවාතැන කියන වැඩසටහනට  වඩා පුළුල් විදිහට වාර්තාමය වැඩසටහනක් ලෙස ගවේෂණාත්මකව තමයි ඒක කළේ. විවිධ ඉසව් ඔස්සේ යමින්   

ඒ ඒ චරිතවල ජීවිත ඇතුළාන්තය ස්පර්ශ කරමින් ඒක මගේම කරගෙන කරපු වැඩසටහනක්. ඒක ගොඩක් දුෂ්කර කාර්යයක් වුණා. ඔවුන්ගේ උපතේ සිට මේ දක්වා සියලු සිදුවීම් ඇසුරෙන් තමයි ඒක කළේ. කලාවේ නව මං සොයා ගිය විශිෂ්ටයන් වෙනුවෙන් සොඳුරු ආවර්ජනය කියන තමයි ඒක නම් කළේ. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වගේම ජීවතුන් අතර නැති අය පවා මේ සඳහා 2007 වසරෙදි එච්. එම් ජයවර්ධනයන් සමඟ කළ වැඩසටහන වෙනුවෙන් පළමු වරට සුමති සම්මානය හිමිවුණා. ඉන් පසුව දිගින් දිගටම  සුමති, රයිගම්, රාජ්‍ය සම්මාන, විශ්වාභිනන්දන, සිංහාභිනන්දන වගේම ඒ.වී.යූ ජාත්‍යන්තර සම්මානය පවා හිමිවුණා.

මෙතරම් දක්ෂතා තියාගෙන ඇය ඔබ දැන් නිහඬවෙලා ඉන්නේ. ඔබේ ඉදිරි සැලසුම් ගැන කතා කළොත්?

ගමේ ඉපදිලා ගමේම සැගව නොගිහින් සමාජය වෙනුවෙන් මේ තරම් හෝ සේවයක් කරන්න ලැබීම ලොකු සතුටක්. ඒ වෙනුවෙන් මං ජීවිත කාලෙ පුරාම ලොකු කැපකිරීමක් කළා. ඉදිරියේ දී  විනීතා කරුණාරත්න කියන චරිතය පොතක් ලෙස එළිදැක්වීමේ බලාපොරොත්තුවක් තියෙනවා.

නාමලී ගමගේ

 

 


1 comment:

            ශ්‍රී ලංකා -ඉන්දීය කලාපීය මිතුදමට සේතුවක් සේ පිදෙන                                      DRDගේ  ‘සංජීවනී ලේ ආ රේ‘   එකම ලේ ධාතු...