පරණ ලිහිණිට ආදරේ කරන පිරිස තාමත් ඇය පිළිගන්න සූදානම් නැහැ
ටෙලි නිර්මාණයක රංගන ශිල්පියකු හෝ ශිල්පිනියක එහි නිමාවට පෙර හදිසියේ ඉන් ඉවත්වීමෙන් එම ටෙලි නිර්මාණයට විශාල හානියක් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලඳගත් තමාගේම කෙනෙකු මෙන් සිතින් බදාගත් චරිතයක් එකවරම නැතිවීම ඔවුන්ද ව්‍යාකූලත්වයට පත්කර වන්නකි. දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ලිහිණිගේ චරිතය ද නිර්මාණයට එලෙස ජීවයක් දුන් චරිතයකි. ලිහිණිට පණ පෙවූ රංගන ශිල්පිනිය හදිසියේ ඉවත්වීමෙන් ඒ චරිතයට ආදේශ වෙමින් ඒ අභියෝගය පිළිගන්නට සිදුවූයේ ඇයටයි. ඇය නවක රංගන ශිල්පිනියකි. නමින් උපේඛා රවිහාරී රණසිංහ නම් වූ ඇය සමඟයි අද අපේ කතාබහ.
ලිහිණිට ලැබෙන ප්‍රතිචාර කොහොම ද උපේඛා?
ප්‍රතිචාර පොසිටිව් නෙගටිව් දෙකම තියෙනවා. පරණ ලිහිණිට ආදරේ කරන පිරිස තාමත් මාව පිළිගන්න සූදානම් නැහැ. ඒත් මං වටේ ඉන්න මගේ නෑදෑයෝ යාළුවෝ ඇතුළු පිරිසක් මට හොඳ ප්‍රතිචාර දක්වනවා.
ඒ නෙගටිව් ප්‍රතිචාරවල ඔයාට බැණපු ඒවත් ඇති නේද?
ඔව්. සමහරු මට බැණලත් තිබුණා. මුලින් මුලින් මං ඒ කමෙන්ට් බැලුවා. පස්සෙ බලන්නැතුව හිටියා. මේක ලංකාවනේ. සමහරුන්ට බණිනවා. සමහරුන්ට හොඳ කියනවා. ඒ වගේ දෙගොල්ලෙක් ඉන්න ඕන. නැත්නම් සමතුලිතතාවක් නෑනේ.
ලිහිණි කියන්නේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ප්‍රබල චරිතයක්. ඒ වගේම ගොඩක් ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගත් චරිතයක්. හදිසියේම ඒ වගේ චරිතයක පුරප්පාඩුවකට ආරාධනා ලැබුණම බයක් හිතුණෙ නැද්ද?
ලිහිණි කියන්නේ මේ නිර්මාණය පුරාවටම දුවන චරිතයක්. ඒ වගේම ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබපු චරිතයක්. ප්‍රේක්ෂකයන් හුරුවෙලා හිටියේ පරණ ලිහිණිගෙ රූපෙට වගේම රංගනයට. හදිසියේම වුණු මේ වෙනස ඔවුන්ටත් ගැටලුවක් වෙන්න ඇති. මේක මගේ පළමු රංගන අත්දැකීම. මං රංගනය හදාරපු කෙනෙකුත් නොවෙයි. මටත් බයක් දැනුණා. මේක කොහොමද කරන්නෙ, මොනවගේ ප්‍රතිචාරයක් ලැබෙයි ද කියලා. මං උත්සාහ කළා උපරිමයෙන්ම කරන්න. තාමත් උත්සාහ කරනවා ඒ චරිතය හොඳින් කරන්න.
උපේඛාට මේ අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
2021 ටීවී දෙරණ අවුරුදු කුමරිය තරගයේ තුන්වැනි ස්ථානය ලැබුණෙ මට. සාමාන්‍ය යෙන් දෙරණ ඔවුන්ගේ වැඩසටහන්වල ජයග්‍රාහකයො කවදාවත් අමතක කළේ නෑ. මටත් මේ ලැබුණෙ එවන් අවස්ථාවක්. දෙරණ වැඩසටහන් නිෂ්පාදිකාවක් වන සුබා අක්කයි දෙරණ උප සභාපති ලක්සිරි සර් නිසා තමයි මේ අවස්ථාව මට ලැබුණේ.
උපේඛා හිතනවද ලිහිණි තුළ ඔබ සාර්ථකයි කියලා?
මං හැමදාම මං ඉන්න ටික නැවත නැවත බලනවා. එතනදි මට හිතෙනවා මට තව හොඳට කරන්න පුළුවන් කියලා. ඊළඟ දවසේ ෂූටින්වලදී මං තවත් උත්සාහ කරලා උපරිමයෙන් කරනවා. මං ගොඩක් උත්සාහ කළා ලිහිණිට සාධාරණයක් කරන්න. ඒක ටිකක් අමාරු වැඩක්. තවමත් උත්සාහ කරනවා.
උපේඛාට හිතුණෙ නැද්ද තව කෙනෙකුගේ චරිතයකට අතරමැදදි සම්බන්ධ වෙද්දි ඔයා ඔයාට කරගන්නෙ ආසාධාරණයක් කියලා?
ලැබුණු අවස්ථාව ගැන මට සතුටුයි. මං හිතන විදිහට මේක මගේ වාසනාවට ලැබුණු දෙයක්. මේ මගේ පළමු නිර්මාණය. ඒ වගේම වෙන ජනප්‍රිය කෙනෙක් දීර්ඝ කාලයක් තිස්සේ කළ චරිතයක් කරන්න ලැබීමම අභියෝගයක් කියලයි මට හිතෙන්නේ. ඒ නිසා මට හිතෙන්නෙ නැහැ මට අසාධාරණයක් වුණා කියලා.
රංගනය ගැන හැදෑරීමක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?
ඇත්තටම රංගනය ගැන හැදෑරීමක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඉදිරියේ දී මීට වඩා සාර්ථකව රංගන කටයුතු කරන්න උත්සාහ කරනවා.
ගෙදරින් ඔබේ රංගනයට ලැබෙන සහාය ගැන කිව්වොත්?
ගෙදරින් මට ලොකු සහායක් ලැබෙනවා. පවුලේ එකම ළමයා මං. අම්මා තමයි මට ගොඩක්ම උදවු කරන්නේ. මගේ හෙවණැල්ල වගේ පස්සෙන්ම ඉන්නේ මගේ අම්මා.
යොවුන් වියේ පසුවන තරුණියක් විදිහට ආදරේ ගැන මොනවගේ හැඟීමක් ද උපේඛාට තියෙන්නේ?
ආදරේ ගැන නිර්වචනයක් දෙන්න නම් මට බැරිවෙයි. ඒක එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස්නෙ. ආදරේ ගැන මටත් අත්දැකීම් තියෙනවා. මාත් ආදරවන්තියක්.
ආදරවන්තයා ඔබේ රංගනයට තහංචි දාන්නෙ නැද්ද?
නැහැ. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාත් මගේ රංගන කටයුතුවලට උදවු කරනවා.
නාමලී ගමගේ




Niyama wadak namali
ReplyDeleteSupiri Namali akke
ReplyDelete