මිත්‍රත්වය උදෙසා බොහෝ කැපකිරීම් කරන ඉස්කෝලේ දුලාන්
භාග හඳ පායා ආපු දාට
බට ලී ගී ගයන රෑක
කඩුපුල් මල් හොරෙන් ඇහැරනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
සතියේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන ඉස්කෝලේ ටෙලි නාට්‍යයට නිර්මාණය කළ මේ ගීතය මේ දිනවල ජනප්‍රියත්වයේ ඉහළින්ම වැජඹෙන ගීතයක්. එහි ළයාන්විත ගායනය නිසල් සත්සරගේයි. ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ දුලාන්ගේ චරිතයට පණ පොවමින් රංගනයට පිවිසෙන ඔහු කලාව හඳුනාගන්නේ ගායකයකු ලෙසින්. ගායනයට වගේම රංගනයටත් එක සේ දස්කම් දක්වන ඔහු සමඟයි අද අපේ කතාබහ.
නිසල් කියනවට වඩා දුලාන් කිවුවම නේද ගොඩක් අය ඔබව දන්නේ?
ඇත්තටම ඔව්. ඒක නම් පුදුම හැඟීමක්. මට කියන්න වචන එන්නෙත් නෑ. ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන මේ ආදරය. ඒක පුදුම සතුටක්. ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ දුලාන්ට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
දුලාන්, අනගි කියන්නේ එකම පන්තියේ හොඳම යාළුවෝ වුණත් දැනෙන නොදැනෙන තරමේ ආදරයකුත් එතන තියෙනවා. පාසල් ප්‍රේමයට කැමැති ප්‍රේක්ෂකයොත් ඉන්නවා. අකමැති අයත් ඉන්නවා. කොහොමද ලැබෙන ප්‍රතිචාර?
පාසල් ප්‍රේමයත් බොහෝ දෙනෙක් අතරේ තියෙන දෙයක්. ඒක ඉතින් එක එක්කෙනා දකින විදිහ තමයි වෙනස්. මේ නාට්‍යයේ එහෙම ලොකුවටම ප්‍රේමයක් අඟවන්නෙ නැති නිසා බැණලා ප්‍රතිචාර ලැබිලා නම් නැහැ. හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර තමයි දැනට ලැබිලා තියෙන්නේ.
ඔබ ක්ෂේත්‍රයට එන්නේ රියැලිටි සංගීත වැඩසටහනක් ඔස්සේ. ඒත් දැන් ඔබ ජනප්‍රිය වෙලා ඉන්නේ රංගන ශිල්පියෙක් විදිහට. කොහොම ද ඒක සිද්ධ වෙන්නේ?
ඔව්. මං දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 9ට තමයි සම්බන්ධ වුණේ. ඊටත් කලින් මං උසස් පෙළ කරද්දි අම්මා අයදුම්පත්‍රයක් දාලා තිබුණා. ඒත් උසස් පෙළ විභාග වැඩත් එක්ක මට හිතුණා දෙකක්
කරගන්න බැරි වේවි කියලා. ඒ නිසා සම්බන්ධ වෙන්න බැරි වුණා. ඊට පස්සේ උසස් පෙළ ඉවර වෙලා ඩ්‍රිම්ස්ටාර් සීසන් 9ට සම්බන්ධ වුණා. මගේ තාත්තත් සංගීතයට සම්බන්ධ කෙනෙක්. එයාගෙන් ලොකු සහායක් ලැබුණා. ගොඩක් දුර ආවා. ඒක ඉවර වෙනවත් එක්කම තමයි මට ඉස්කෝලේ නාට්‍ය එක්ක සම්බන්ධ වෙන්න ලැබුණේ. රාධිකා ක්‍රිෂාන්ති අක්කාගේ මාර්ගයෙන් තමයි ඒ අවස්ථාව ලැබුණේ. එයා මට කිව්වා අලුත් නාට්‍යයකට ළමයි 5 දෙනෙක් හොයනවා. ඔයත් ගිහින් බලන්න කියලා. ඒකෙන් මං තේරුණා. රංගනය කියන්නේ මගේ හිතකවත් තිබුණෙ නැති දෙයක්. ඒත් දැන් මට හිතෙනවා ඒක මගේ වාසනාවකට ලැබුණු දෙයක් කියලා. ඊට පස්සේ පෝය නාට්‍ය කීපයකටත් සම්බන්ධ වුණා.
ගායකයෙක් වෙන්න ආව නිසල් රංගන ශිල්පියෙක් වෙලායි නවතින්නේ. මුලින්ම කැමරාවට මුහුණ දෙද්දි කොහොම ද ඒ අත්දැකීම?
ඒක නම් අමතක වෙන්නෑ. මුලින්ම තිබුණේ අනගිව බයිසිකලේ තියාගෙන යන සීන් එකක්. කවදාවත් කරපු නැති දෙයක් නිසා සමහර තැන්වලදී ලොක් වුණා. ඩයලොග් කියවුණෙත් නෑ. එහෙම අසරණ වුණ අවස්ථාත් තිබුණා. පස්සෙ පස්සෙ හරි ගියා. මං රංගනය ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ. අඩුම ගානේ ස්කෝලේ යන කාලේවත් කිසිම දෙයකට සම්බන්ධ වෙලා තිබුණේ නෑ. මුලින්ම ස්ක්‍රීන් ටෙස්ට් එකක් තිබුණා. පස්සේ රියර්සල් තිබුණේ. ඉස්කෝලේ අධ්‍යක්ෂ දිලූක ගුණතිලක අයියා ඇතුළු කණ්ඩායම ලොකු සහායක් දුන්නා. ඒක මගේ පළවෙනි රංගන අත්දැකීම. පළවෙනි එකේදිම හමුවුණු කණ්ඩායම හරිම හොඳයි. ඒ වගේම ලක්සිරි සර් අපිව වර්ක් ෂොප්වලට සම්බන්ධ කළා. ප්‍රවීණයන්ගෙනුත් ලොකු සහායක් ලැබුණා. මේක මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා නිතරම මගේ චරිතය හොඳින් ගොඩනඟාගන්න එයාලා ලොකු සහායක් දුන්නා.
මං පොඩි කාලෙ ඉඳන්ම සංගීතයටයි ගොඩක් ආස කළේ. රංගනය මට අහම්බෙන් ලැබුණු දෙයක්. දෙකටම එක සමානව ප්‍රතිචාර ලැබෙනවා. ඒත් මං පෞද්ගලිකව වඩාත් කැමති ගායකයාට. ඉදිරියේ දී දෙකම සමබරව කරන් යන්න උත්සාහ කරනවා.
දුලාන්ගෙ වැඩේ අනගි පස්සෙන්ම ඉඳන් අනගිව ආරක්ෂා කරන එකනේ. නිසල්ටත් ඉන්නව ද ඒ වගේ කෙනෙක්?
නැහැ. මං හිතන්නේ ආදරය මට දැම්ම ඕන නෑ. ඒකට ඉස්සරහට කාලයක් ඒවි. ඒකට මේ කාලෙ නෙවෙයි කියලා මං හිතනවා.
නිසල් ඉදිරියේ දී නව නිර්මාණවලින් දැකගන්න ලැබේවිද? මොනවද ඉදිරි සැලසුම්?
දැනට මං ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 4 වැනි වසරේ සිසුවෙක්. ඉස්කෝලේ නාට්‍යයේ කටයුතුයි විශ්වවිද්‍යාල කටයුතුයි එක්ක අලුත් වැඩකට අතගහන්න අමාරුයි. දැනට මගේ සින්දු තුනක් කරලා තියෙනවා. ඉස්කෝලේ නාට්‍යයේ සින්දු දෙකයි ශෘංගාරේ කියන මගේම සින්දුවයි දැනට රිලීස් වෙලා තියෙනවා. ඉස්කෝලේ සඳහා නිර්මාණය වුණු ‘ඇස් අස්සෙන් සොකරි නටවනා‘ ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. අදටත් ඒ ජනප්‍රියත්වය නොවෙනස්ව තියෙනවා. ඩිග්රියේ වැඩකටයුතු කරගෙන අනිවාර්යයෙන් ඉදිරියේ දී නව නිර්මාණ කිහිපයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
නාමලී ගමගේ




Super
ReplyDelete